එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ ඔබ ගේදොර අලංකාර කිරීමට, ආහාරපාන මිලදී ගැනීමට, අලුත් ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට ඇතුළු කාරණා සඳහා වෙළෙඳසැල් වෙත යයි. එහිදී පාරිභෝගිකයන් කූට වෙළෙඳ උපක්‍රමයන්ට හසුවන අවස්ථා මෙන්ම ඔබට වාසිදායක අවස්ථා මඟහැරී යන අවස්ථාද දැකිය හැක. මෙම සාප්පු සවාරි යෑමට පෙර ඔබ විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව අද අප ඔබට ගෙන එන්නෙමු. 

සේල් සහ වට්ටම්වල සිදුවන්නේ කුමක්ද?

උත්සව සමය ආරම්භයේ සිටම ඔබ නිරන්තරයෙන් වෙළෙඳ සංකීර්ණයන් තුළ ගැවසීම සාමාන්‍ය දෙයකි. බොහෝවිට අප ඉතා අඩු මිලකට තිබෙන ඇඳුම් පැලඳුම්, ගෘහ උපකරණ ආදී දේ ගැනීමට පෙලඹෙන්නේ තවත් මුදලක් පසුම්බියට ඉතිරි කර ගැනීමේ අරමුණිනි. මෙහිදී පාරිභෝගික ඔබේ දෑස් නිරන්තරයෙන් යොමු වන්නේ %සේල්^ සහ %අධික වට්ටම්^ ලබාදෙමින් අලෙවි කිරීම් සිදුකෙරෙන වෙළෙඳසැල් තුළටය. නමුත් අප සේල් හෝ අධික වට්ටම් ලබාදෙන වෙළෙඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීමේදී තවත් වරක් සිතා බැලිය යුතුය. මන්දයත් සේල් හෝ අධික වට්ටම් ලබාදීම වෙළෙඳසැල් හිමියන් සිය  ගනුදෙනු වැඩිකර ගැනීමට යොදා ගන්නා තවත් වෙළෙඳ උපක්‍රමයක් වන හෙයිනි. 

බොහෝවිට සේල් සහ අධික වට්ටම් ලබාදෙන භාණ්ඩ අනෙක් සාමාන්‍ය අලෙවිය සඳහා ගෙන එන භාණ්ඩ අතරින් වෙන්කොට තිබේ. ප්‍රවාහනයේදී, නිෂ්පාදනයේදී හෝ වෙනත් අයුරකින් හානියක් සිදුවූ හෝ පළුදු වූ භාණ්ඩ මෙලෙස සේල් දමා සහ වට්ටම් ලබාදීම මගින් අලෙවි කෙරෙයි. තවද නියමිත කාලය තුළ අලෙවි නොවූ භාණ්ඩද මෙලෙස උත්සව සමයන්හිදී අඩු මුදලට අලෙවි කිරීම සිදුවෙයි. මෙහිදී පාරිභෝගිකයන් එවැනි භාණ්ඩ මිලදී ගැනීමේදී දෙවරක් සිතා බැලිය යුත්තේ එහි කල්පැවැත්ම හෝ ක්‍රියා කිරීම පිළිබඳව විශ්වාසයක් නොමැති හෙයිනි. ඇතැම් අවස්ථාවලදී අලුත්වැඩියා කළ භාණ්ඩද මෙලෙස සේල් තුළ අලෙවි වෙයි. විශේෂයෙන් ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කරමින් අඩු මුදලට අලෙවි කෙරෙන අතර, එහි වගකීම් කාලය නවීන භාණ්ඩයක වගකීම් කාලයෙන් අඩක් හෝ ඊට වඩා අඩු ඉතා කෙටි කාලයකි. එම භාණ්ඩවල සහ සාමාන්‍ය අලෙවියෙහි සිදුවන භාණ්ඩවල වෙනස ඇත්තේ ඉතා සුළු මුදලකිනි. සුළු මුදල් ප්‍රමාණයේ වාසිය පිළිබඳව සිතා කූඨ වෙළෙඳ උපක්‍රමවලට හසු නොවී සිටීම පාරිභෝගික ඔබේ වගකීමකි. 

Credit කාඩ්පත් මගින් ගනුදෙනු

උත්සව සමයේදී මෙන්ම සාමාන්‍ය කාලවලදී Credit කාඩ්පත් මගින් ගනුදෙනු කිරීමේදී පාරිභෝගිකයන්ට විශාල වාසි සහ වට්ටම් ලබාදෙන බව ඔබ අසා දැක ඇත. මෙහිදී Credit කාඩ්පතකින් ගෙවීම් සිදුකිරීමේදී අදාළ වට්ටම ලබාදෙන්නේ භාණ්ඩ අලෙවි කිරීම සිදුකරන ආයතනය සහ Credit කාඩ්පත නිකුත් කළ බැංකුව විසින් සිදුකරගත් ගිවිසුමක් මතය. මෙම වට්ටම් ලබාදීම තුළින් අදාළ බැංකුව අපේක්ෂා කරනුයේ සිය ගනුදෙනුකරුවන් වැඩි කර ගැනීම සහ Credit හිමියන් තව තවත් ඒ සඳහා යොමු කිරීමට උත්සාහ කිරීමයි. මේ තුළින් භාණ්ඩ අලෙවි කරන ආයතනයෙහි අලෙවියද ඉතා ඉහළ යන අතර, එම වෙළඳසැල් අදාළ මූල්‍යමය ආයතනයෙන් මෙම සේවාව ලබාදීම උදෙසා සේවා ගාස්තුවක් අයකර ගනී.

නමුත් එම බොහෝ අවස්ථාවලදී පාරිභෝගිකයාට කිසිදු අවාසියක් සිදුනොවේ. විශේෂයෙන් උත්සව සමයේදී ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේදී Credit කාඩ් භාවිතයෙන් ගනුදෙනු කිරීමේදී පාරිභෝගිකයාට විශාල වාසියක් අත්පත් වෙයි. එහිදී කිසිදු පොළියක් නොගෙවා භාණ්ඩයේ වටිනාකම අදාළ ගෙවීම් කාලය තුළදීම ගෙවා අවසන් කරගත හැක. ඕනෑම අවස්ථාවක පාරිභෝගිකයන්ට වාසිදායක සහ හොඳම ක්‍රමය වන්නේ කාඩ්පත් මගින් ගනුදෙනු කිරීමය.

රස්තියාදු නොවී ෂොපින් කරන්න

වර්තමානයේදී ගෘහණියන් ඇතුළු සැමටම කාලය ඉතා වැදගත් වේ. විශේෂයෙන් උත්සව සමයේදී දෛනික වැඩකටයුතුවලට අමතරව තවත් වැඩකටයුතු රැසක් සිදුකිරීමට ඔබට සිදුවේ. මේ සඳහා කාලය කළමනාකරණය කර ගැනීම ඉතා අපහසු කටයුත්තක් වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් කාලය වැය වන්නේ සාප්පු සවාරි සඳහාය. ඇතැම් විට දින දෙකක් තුනක් පමණ වෙළෙඳසැල් තුළට යාමට සිදුවේ. නමුත් ඇතැම්විට තම සිතැඟි පරිදි අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වන අවස්ථාද එමටය. තමන්ට අවශ්‍ය භාණ්ඩය සාමාන්‍ය වෙළෙඳපොළෙහි නොමැති වීම, මිල අධික වීම වැනි කාරණා නිසාද ඇතැම් අවස්ථාවලදී පාරිභෝගිකයන් මහත් අසීරුතාවකට පත්වෙනු ඇත. මේ හේතුවෙන් පාරිභෝගිකයන් වෙළෙඳසැල් තුළ රස්තියාදු වීම බෙහෙවින් දක්නට ලැබේ. 

වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග සෑම භාණ්ඩයක් සහ සේවාවක්ම මාර්ගගත තාක්ෂණය ඔස්සේ (Online) නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතී. එමෙන්ම මෙම Online Shopping හරහා පාරිභෝගිකයන්ට සිය කාලය ඉතිරි කර ගැනීමේ වාසියට අමතරව තවත් වාසි රැසක් ලැබෙයි. විශේෂයෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩ පමණක් තෝරා ගැනීම, අවශ්‍ය ප්‍රමාණය මිලදී ගැනීම ආදියද මෙහිදී වැදගත් වෙයි. Online Shopping ක්‍රමයේදී ඔබට භාණ්ඩයක් තෝරාගැනීමට පෙර වෙනත් පාරිභෝගිකයන් එම වෙළෙඳසැල සහ භාණ්ඩයන් පිළිබඳව දක්වා ඇති ප්‍රතිචාරයන් (Ratings and comments) පිළිබඳව නැරඹිය හැකිය. එමෙන්ම මුදල් අනිසි ලෙස වියදම් වීම වැළැක්වීම, කූට වෙළෙඳුන්ට හසුවීමට ඇති ඉඩකඩ අවම වීම සහ ප්‍රවාහනය සඳහා මුදලක් වියදම් නොවීම Online Shoppingහි ඇති තවත් විශේෂ වාසි කිහිපයකි. තවද අත්පිට මිලදී ගැනීමට හෝ කාඩ්පත් මගින් ගෙවීමේ වාසියද මෙහිදී ඔබට හිමිවේ. මේ හේතුවෙන් මෙම උත්සව සමයන්හිදී පාරේ තොටේ අනිසි ලෙස රස්තියාදු නොවී අවශ්‍ය භාණ්ඩයන් නිවසටම ගෙන්වා ගැනීමටද හැකිය.

තෑගි දෙන්නේ මොනවාද?

එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයේදී අප එකිනෙකාට අවුරුදු තෑගි ලබාදීම අතීතයේ සිටම සාම්ප්‍රදායිකව සිදුකෙරමින් පවතින චාරිත්‍රයකි. නෑදෑ හිතමිතුරන්ට, දෙමාපියන්ට, දරුවන්ට ආදී සැමටම හැකි අයුරින් තෑගි දීම ඕනෑම ආර්ථික මට්ටමකම සිටින අයෙකු සිදුකරන්නකි. නමුත් වෙළෙඳසැලකට ගොස් අප තෑගි ලෙස මිලදී ගන්නේ මොනවාද යන පැනය නිරන්තරයෙන් මතුවන ගැටලුවකි. විශේෂයෙන් මෙහිදී සිතට එන පළමු කරුණ වන්නේ තම ආදරණීයයන්ට ඇඳුම් පැලඳුම් තෑගි ලෙසින් දීමයි. නමුත් එකිනෙකාගේ රුචි අරුචිකම් විවිධාකාර වේ. උදාහරණ ලෙස පොත්පත්, සෙරෙප්පු, ආභරණ ආදියට රුචියක් දක්වන හිතමිතුරන්ට ඔවුන් රුචි නොවන දෙයක් තෑගි ලෙස ලබාදුන්නොත් ඇතැම්විට ඉන් ඔවුන්ට ඵලක් නොවන්නට පුළුවන. නැතහොත් ඇඳුමක, පැලඳුමක ප්‍රමාණය වෙනස් වී තිබුණහොත් ඉන් ප්‍රයෝජනයක් ගැනීමටද නොහැකිය. මෙවැනි සිදුවීම් තුළින් ඇතැම්විට ඔබගේ මුදල්ද අනවශ්‍ය ආකාරයෙන් වැය විය හැකිය. මේ නිසා තෑගි දීමේදී හැකිතරම් තෑගි වවුචර්පත් භාවිත කිරීම තුළින් ඔබට මෙන්ම ඔවුන්ටද එය වැදගත් වේ. 

කැළුම් දේවින්ද

 

0 comments

Leave a Reply

Post Comment