කාලයක් තිස්සේ සමාජයේ මුල් බැසගෙන තිබෙන යම් යම් කරණාවන් ගත් විට රට කෙතරම් දියුණු වුවත්, තවමත් ඇතැම් පිරිස් එම මිථ්‍යා මත බැහැර කිරීමට අකමැත්තක් දක්වති. සැබැවින්ම අප එසේ විය යුතුද? සාම්ප්‍රදායික මතිමතාන්දර මතම අප ජීවිතය පවත්වා‌ගෙන යා යුතුද? මේ පිළිබඳව අප ජ්‍යෝතිෂමය වශයෙන් මඳක් විමසා බැලීමට තීරණය කළෙමු. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ටොලමියානු ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ රත්නායක මහතාගෙන් කළ විමසීමකි.

ඕනෑම වැදගත් තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමේදී නැකැත හෙවත් සුබ මුහුර්ත පිළිබඳව ලතවෙමින් වැඩේ පටන් ගැනීමට සුබ නැකැත් නැතැයි කියමින් හෝ මෙය අසුබ කාලයක් යැයි කියමින් කල් මැරීම, වැඩ අතපසු කිරීම තරම් තවත් අපලයක් නැත.

කතක් සිරිකතක් වන්නේ රූපයෙන් පමණක් නොව ගුණ නුවණින්ද පොහොසත් වූ විටය. රූපය කෙතරම් ලස්සනට තිබුණත් ගුණ නුවණ නැතිනම් ඇය සිරිකතක් හෙවත් wonder women කෙනෙක් නොවන්නේය. අප සමාජයේ කාලයක සිට මුල් බැසගෙන තිබෙන ඇතැම් මිථ්‍යා මත මේ කාන්තා පක්ෂය තුළද ඉස්මතු වනු අප දැක තිබේ. අඟහරුවාදා, සෙනසුරාදා, බදාදා යන දින සම්බන්ධයෙන් පවතින්නේද එබඳු වැරදි මතයන්ය. ඇතැම් කෙනෙක් අඟහරුවාදා, සෙනසුරාදා දිනවල කිසිදු සුබ කටයුත්තක් නොකරන අතර, තවත් කෙනෙක් අඟහරුවාදාට දිය නෑම පවා සිදු නොකරයි. මෙවැනි අදහස් සම්බන්ධයෙන් ජ්‍යෝතිෂයේ හෝ වාස්තු විද්‍යාවේ පිළිගත හැකි ප්‍රත්‍යක්ෂමය නියමයක් නොමැත. කිසියම් ජ්‍යෝතිෂ පොතක අඟහරුවාදා, සෙනසුරාදා සුබ මුහුර්ත නැතැයි කී පලියටම ඒවා අපගේ අත්‍යාවශ්‍ය කටයුතු වලට බාධා කර ගැනීම මිල කළ නොහැකි මිනිස් ජීවිත අපතේ යැවීමකි. ඔබ එවැනි කෙනෙක් නොවනු ඇතැයි අපි සිතමු.

ගමන්බිමන් පිටත් වීම, ව්‍යපාර කටයුතු ආරම්භ කිරීම, නිවාස ආදිය ඉදිකිරීම අඟහරුවාදා, බදාදා, සෙනසුරාදා දිනවල නොකළ යුතු යැයි සිතන ඇතැම් කෙනෙක් එකී මිථ්‍යාව බලහත්කාරයෙන්ම අන් අය වෙතද ආරෝපණය කරනු අප දැක තිබේ. එහෙත් ඒවායේ කිසිදු හරයක් නැති බව තේරුම් ගත යුතුය. 

ඔබේ ජීවිතයට අදාළ ඕනෑම වැදගත් තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමේදී නැකැත හෙවත් සුබ මුහුර්ත පිළිබඳව ලතවෙමින් වැඩේ පටන් ගැනීම සුබ නැකැත් නැතැයි කියමින් හෝ මෙය අසුබ කාලයක් යැයි කියමින් කල් මැරීම, වැඩ අතපසු කිරීම තරම් තවත් අපලයක් නැත. නැකැත් හා සුබ මුහුර්ත පිළිබඳව අන්ධානුකරණයෙන් ඒවා තමාගේ ජීවිතයට බද්ධ කරගන්නා කිසිවෙකු ජීවිතය ජය ලබා නැත. ආධ්‍යාත්මිකව හෝ භෞතික වශයෙන් දියුණුවට පත් පුද්ගල චරිත දෙස විමසිල්ලෙන් බලන්න. ඒ කිසිවෙක් තමාගේ කටයුත්තට මුල් තැන දුන්නා මිස නැකැතට හෝ සුබ මුහුර්තයට මුල් තැන දී නැති බව එවිට ඔබට පසක් වනු ඇත. ඇතැමුන් විවාහ පත් වූ විට අලුතින්ම නිවසක් සාදා ගැනීමේ බලවත් ආශාවෙන් පසුවනවා විය හැකිය. ලෝකයේ බොහෝ දෙනා තම සිතැඟි පරිදි නිසි ප්‍රමිතියක් සහිතව ගේ දොර ඉදිකොට සතුටින් ජීවිත ගෙවයි. එහෙත් අපේ ඇත්තෝ නැකැත් ගැන සිතමින් මිථ්‍යා‍වේ ගිලෙමින් සිටිති. 

අද කළ යුතු ‌දේ අදම කරන්න. එය හෙටට කල් දැමීම හෝ හොඳ කාලයක් උදා වනතුරු කාලය කා දැමීම කෙතරම් අපරාධයක් දැයි ඔබ විසින් තේරුම් ගත යුතුය. අඟහරුවාදා, සෙනසුරාදා, බදාදා යන දින 3 සුබ වැඩක් සඳහා භාවිතයට නොගන්නා ඔබට ඉතිරි වන්නේ දින 4ක් පමණි. ඒ දින 4න්ද රාහු කාලයට, කෝණ මාසයට යැයි කාලය අඩුකර දැමූ විට සැබවින්ම ඔබට සොබාදහමෙන් ලැබී ඇති අමිල ජීවිතය, කාලය විනාශ වී යනු ඇත. මේ පිළිබඳව සිතන්න. වඩාත් ප්‍රවේශම් වන්න, වඩාත් බලවත් වන්න. නැකැත හෝ සුබ මුහුර්තය සේම උවමනා කාර්ය ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ සිත හා සූදානම් වීම පමණි. ඒ දෙක ඇත්නම් ඊටත් වඩා බලවත් සුබ මුහුර්තයක් තවත් නොමැත. 

කෂිනි හපුආරච්චි

 

 

0 comments

Leave a Reply

Post Comment