2010 වසරේදී ශ්රී ලංකාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ක්රීඩකයෙකු ඔට්ටු තැබීමේ හා තරග පාවාදීමේ චෝදනාවට ලක්වීම පිළිබඳව සකස් කළ වාර්තාවට කුමක් වූයේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉල්ලීමට ශ්රී ලංකා ක්රිකට් විධායක සාමාජිකයන් තීරණය කර තිබේ.
ඉන්දීය කණ්ඩායම දඹුල්ලේ පැවැති තරග සඳහා එක්වී සිටින විට ඔවුන් නැවතී සිටි හෝටලයේ එක් ක්රීඩකයෙකුගේ කාමරයකට කාන්තාවක් පැමිණි බවත්, ඇය එදින රාත්රිය ඔහුගේ කාමරයේ ගතකර පසු දින අලුයම හතරට පමණ එයින් පිටව ගොස් තිබෙන බවට වාර්තා වූ සිදුවීම එම කාලයේදී මහත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් විය.
ඒ පිළිබඳව වාර්තාවක් සකස්කළ අතර, එය තවමත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ. මෙම වාර්තාව ඉන්දීය ක්රිකට් ආයතනයේ බලපෑම මත යට ගැසූ බවට මෙන්ම ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ බලවතෙකු එය විනාශ කළ බවටත් රාවයක් පවතී.
ඒ අනුව අප පසුගිය බ්රහස්පතින්දා (20දා) ඔබ වෙත අනාවරණය කළේ, මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් විමතියට පත්ව සිටින බවත්, එය ශ්රී ලංකා ක්රිකට් ආයතනයට බලවත් අපකීර්තියක් බවත්ය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට සිදුවන අපකීර්තිය වළක්වා ගැනීමට සඳහා එම වාර්තාවට කුමක් වූයේද යන්න සලකා බැලීමට පරීක්ෂණයක් ඉල්ලීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපතිගෙන් ඉල්ලීමට විධායක කමිටු සාමාජිකයෝ සූදානමින් සිටිති. මෙම ඉල්ලීම අද (24දා) දිනයේදී සිදුවනු ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම වාර්තාව එම තරග සංචාරයේදී ඉන්දීය කණ්ඩායමේ ආරක්ෂාව භාරව සිටි විශ්රාමික මේජර් ජනරාල්වරයෙකු වන ලෝරන්ස් ප්රනාන්දු මහතා සකස්කර තිබුණි.
හෝටලයේ පැවැති සී.සී.ටී.වී. දර්ශනවලින්ද මෙම සිද්ධිය තහවුරු වී තිබුණි. මෙම සිදුවීමට මුහුණදුන් ක්රීඩකයා වන්නේ ඉන්දීය සුපිරි පිතිකරු සුරේෂ් රයිනාය.
අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතියට අනුව තරග පාවාදීම් මෙන්ම තරග පාවාදීම් පිළිබඳව වසන් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදකි.
බංග්ලාදේශ ප්රිමියර් ලීග තරගාවලියේදී තරග පාවාදීම් සිදුනොකළද තරග පාවාදීම් කිරීම සඳහා කරනු ලැබූ ආරාධනා පිළිබඳව අනාවරණය නොකිරීමෙන් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කෞෂාල් ලොකුආරච්චිට චෝදනා ගොනු වූ අතර, ඒ සඳහා ඔහුට මාස 18 ක තරග තහනමක්ද පැනවීය.
කෙසේ වෙතත් ඔහු ගොනුකළ ඇපෑලකින් එම කාලසීමාව මාස හයක් දක්වා අවම කරගැනීමට කටයුතු කළේය.
මේ අනුව තරග පාවාදීම් සොයා බැලීම පිළිබඳව සකස් කළ වාර්තාවක් වගකිව යුතු පාර්ශ්වයන්ට ඉදිරිපත් නොකිරීමද බලවත් වරදක් බව ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටු සාමාජිකයෝ පවසති.