Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
පසුගිය මැයි 25 හා 26 දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට මුහුණ දීමට සිදුවූ කනගාටුදායක තත්ත්වය පිළිබඳ සමාජ සාකච්ඡාව තවමත් අවසන් වී නොමැත. ගංවතුරෙන් හා නාය යෑම්වලින් සිය ගණනක් මියගිය අතර, අතුරුදන් වූ පිරිස පිළිබඳව මෙතෙක් නිවැරදි සංඛ්‍යාවක් ඉදිරිපත් වී නොමැති අතර, දේපොළ හානිය කොතෙක්දැයි නිසි තක්සේරුවක් මේ දක්වා සිදුකර නැත.
ඇතැම් දේශපාලඥයන් ලකුණු දමා ගැනීමේ උවමනාවෙන් එම අවස්ථාවේදී කටයුතු කළ බව විපතට පත්වූ ජනතාව නිතර පවසන දෙයකි. මේ වනවිට රජයේ බලධාරීන් එම ආපදාව අමතක කර වෙනත් කරුණු දෙස යොමුවී ඇති ආකාරයක් දැකිය හැකිය.
ආපදාවන්ට ලක්වූ පවුල්වල ජනතාවගෙන් ඇතැම් පිරිසක් තවමත් තාවකාලික නවාතැන්වල සිටිති. මෙම පසුබිම එහි වර්තමාන තත්ත්වය දැන ගැනීමට ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරන මහජන නියෝජිතයෝ කිහිප දෙනෙක් 'අද'ට සම්බන්ධ කර ගතිමු.
ආණ්ඩුව සාකච්ඡා කළා විතරයි, එතැනින් එහාට කිසිවක් කළේ නැහැ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන
ආපදාවට ලක්වූ මාතර ජනතාවට මේ දක්වා සැලකිය යුතු අයුරින් කිසිම දෙයක් ලබාදීලා නැහැ. වගා හානි තවම ගෙවලා නැහැ. ගෙවල්වලට ගෙව්වෙත් නැහැ. ගෙවල් හදාගන්න ගෙවනවා කිව්වට ඒක දුන්නෙත් නෑ. ආණ්ඩුව සාකච්ඡා කළා විතරයි, එතැනින් එහාට කිසිවක් කළේ නැහැ. පිටරටින් නැව් ආවා කිව්වට ඒවා ලැබුණෙ නැහැ.
රටේ අනෙකුත් ජනතාව එකතු කරපු ද්‍රව්‍ය තමයි ආපදාවට ලක්වූ ජනතාවට ලැබුණෙ. හානිවූ කුඹුරුවලින් සියයට පහකට පමණක් බිත්තර වී වගයක් දුන්නා. නමුත් දැන් කුඹුරු වපුරන වෙලාව ඉක්මවා ගොස් තිබෙන නිසා එම වී වපුරන්න බැහැ. වෙන කිසිම දෙයක් ලැබුණෙ නැහැ. යටවුණු කුඹුරු මේ කන්නයේ හදන්න බැහැ. ඊළඟ කන්නයේ වගා කරන්න වෙන්නෙ. තේ නැවත වගා කරන්න ඕන.
රුපියල් 10,000ක් දෙනවා කිව්වට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ගෙවලා තිබෙන්නෙ දහයකට, පහළොවකට වගේ තෝරාගත් පිරිසකට පමණයි. සති දෙකෙන් ගෙවන්නම්, හෙට ගෙවන්නම්, අනිද්දා ගෙවන්නම් කියනවා විතරයි තාම නැහැ. වැඩිහිටි ආධාර ලබාදුන් වැඩිහිටියන් සිටින ගෙදරක රජයේ සේවකයෙක් ඉන්නවා නම්, එම දීමනාව කපාදමා තිබෙනවා.
මේ හේතුව නිසා ගංවතුරෙන් විපතට පත්වූ අය තවත් අසරණ වෙලා. නිවාස තක්සේරු කරනවා කිව්වට මේ දක්වා නියමිත පරිදි සොයා බලා වාර්තා ලබාගෙන නැහැ. මේ නිසා රජයෙන් ආධාර ලබාගැනීමට සිතාගෙන සිටි ජනතාව එම අදහස දැන් අත්ඇරලා තියෙනවා. ඔවුන් දැන් කිසිම දෙයකට නිලධාරියෙකුටවත් කතා කරන්නෙ නැහැ.
සෑම වන්දි මුදල් ගෙවීමකදීම ආණ්ඩුව වසරකට වඩා පමා කළා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ
ගාල්ල දිස්ත්‍රික්කයේ දැනට ලබාදී තිබෙන්නෙ ආපදාවට ලක්වූ පිරිසට ලබාදෙන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල පමණයි. අනෙකුත් වාර්තා සඳහා ඇස්තමේන්තු සකස් කරන බව නිලධාරීන් ප්‍රකාශ කරනවා. ඊට අමතරව දැඩි හානියට ලක්වූ පවුල්වලට රුපියල් 1,750ක ආහාර සලාකයක් මාසයක් දෙකක් පමණ ලබාදී තිබෙනවා.
ආපදාවට ලක්වූ අවස්ථාවේදී ස්වේච්ඡා සංවිධාන, මාධ්‍ය ආයතන, බහුජන සංවිධාන ඇතුළුව ක්ෂණික මෙහෙයුමේදී විශාල කාර්යභාරයක් කළා. ඊට පසුව ගතවූ මාස තුනක කාලය තුළ වාර්තා සැකසීම තමයි සිදුකර තිබෙන්නෙ. ඊට එහා ගිය ප්‍රමාණාත්මක සහන සැලසීමක් සිදුවෙලා නැහැ. ආණ්ඩුව මගින් මේ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් නිදහස් කර තිබෙන බව කිව්වට තවම සාධාරණ වන්දි ගෙවීමක්වත්, වගාහානි වෙනුවෙන් පිළියම් යෙදීමක්වත්, දේපොළ හානි වෙනුවෙන් වන්දි ගෙවීමක්වත් සිදුකර නැහැ.
අපි විශ්වාස කරනවා ප්‍රමාද නොවී සාධාරණ වන්දියක් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරාවි කියලා. ආපදාවට ලක්වූ ප්‍රදේශවල තේ, වී වැනි වගාවන් යටවී සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබෙනවා. විනාශ වූ තේ ගස් ගලවලා අලුතින් සිටුවන්න වෙලා තිබෙනවා. අවුරුදු දෙකක් යනතෙක්, නැවත වගා කරන තෙක් ඒ අයට ආදායමක් ගන්න බැහැ. ඒ නිසා එම පවුල්වලට ජීවත්වීම සඳහා දීර්ඝ කාලීන වශයෙන් සාධාරණ වන්දියක් ලබාදෙන්න අවශ්‍යයි. ඒ සඳහා තවම පිළියමක් යොදා නැහැ.
පසුගිය වර නැවත වගාකිරීමට සහ ජීවන වියදම් ආධාරයක් ලබාදුන්නත්, මේ අවස්ථාවේදී ඒක තවම ලබාදීලා නැහැ. සාමසර කන්ද හා අරණායක නාය යෑමෙන් පස්සේ සහනාධාර ගෙවීමේදීත්, මීතොටමුල්ල වන්දි ගෙවීම වැනි සෑම අවස්ථාවකදීම ආණ්ඩුව වන්දි ගෙවීමට වසරකට වඩා ප්‍රමාද කළා. තවම එම ජනතාව කූඩාරම්වල සිටින බව අපි දන්නවා.
මුදල් වෙනකළ බවට ආණ්ඩුව ප්‍රකාශ කළාට එම මුදල් ජනතාව අතරට ගලාගෙන යෑමේ පැහැදිලි බාධාවක්, අඩුපාඩුවක් තිබෙන බව අපට පේනවා. රාජ්‍ය යාන්ත්‍රණය අසාර්ථක වෙලා තිබීම ඊට හේතු වෙලා තිබෙනවා.
මහාභාණ්ඩාගාරය මුදල් වෙන්කළා කිව්වට ප්‍රායෝගිකව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එම මුදල් ලැබෙනවද කියන ගැටලුව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට නියමිත පරිදි මුදල් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ආණ්ඩුව කියන තරම් කඩිනමින් කටයුතු කරන එකක් නැහැ කියලා අපට පෙනීගොස් තිබෙනවා.
ආපදාවට ලක්වූ වෙලාවේ කිව්වට පටන් ගෙන නැහැ වගේ තමයි පේන්න තියෙන්නෙ
ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස
ගංවතුර වෙලාවේ කවරු කවුරුත් මැදිහත් වෙලා ආහාර ද්‍රව්‍ය ටික දුන්නා. එම බඩු බෙදා අවසන් කළ පසුව එම ජනතාව ගැන අවධානයක් යොමුකර නැහැ. මේ අය කූඩාරම්වල ඉන්න නිසා ලොකු සද්දයකුත් නැහැ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අයින් වෙන්න කියපු ආපදාවට ලක්වූ ගෙවල්වල අය රුපියල් 7,500 අරගෙන එක එක තැන්වල පදිංචි වෙලා ඉන්නවා. උදාහරණයක් විදියට පිඹුර නාය යෑම් අවදානමක් තියෙන පවුල් හතරක් ගෙවල් දොරවල් අතහැරලා ආවා.
එක තැනක ගෙයක් අරන් දීලා එම පවුල් හතරම පදිංචි කරලා තිබෙනවා. එහෙම හැමදාම ඉන්න බැහැ. ඉඩම් බෙදලා දෙනවා කියලා ආපදාවට ලක්වූ වෙලාවේ කිව්වට එම වැඩපිළිවෙළ ප්‍රමාදයි. පටන් ගෙන නැහැ වගේ තමයි පේන්න තියෙන්නෙ. මීට කලින් නායයෑම් සිදුවුණු අවස්ථාවලදීත් ඉඩම් බෙදනවා, කිව්වට එහෙම බෙදුවේ නැහැ.
දැන් ආණ්ඩුව පැත්තෙන් කරන්න ඕන වැඩටික ඉතුරු වෙලා තිබෙනවා. ගෙයක් කුලියට ගන්න 7,500ක් දුන්නා. ඒක ගන්න ගියාම මිනිස්සුන්ට නොවිඳිනා දුක් විඳින්න වෙලා තිබෙනවා. මීට කලින් නායයෑම් අවදානමක් තිබුණු බවට අනතුරු ඇඟවීම් කළ තැන්වලට මුදල් දෙන්න ප්‍රමාද කරනවා. සමහර අය මෙම මුදල බලා ඉන්නෙ නැතිව වෙන නෑදෑයන්ගේ ගෙවල්වල ගිහින් පදිංචි වෙලා තිබෙනවා. රුපියල් 7,500ක් දීලා පදිංචි කරනවා කිව්වට එම මුදලට ගෙවල් හොයාගන්න බැහැ.
පවුල් 04කට රුපියල් 7,500 ගාණෙ දීලා කාමර හතරක් තියෙන ගෙයක් දීලා තියෙනවා. එහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. ප්‍රධානම දෙය තමයි රජයේ අකාර්යක්ෂමතාව සහ ප්‍රමාදය. නිලධාරීන් කියනවා සල්ලි ලැබිලා නැහැ කියලා. සමහර තැන්වල තක්සේරු කිරීමට නිලධාරීන් ප්‍රමාණවත් නැහැ. එවැනි ප්‍රශ්න තිබෙනවා.
මේ මිනිස්සු නැවත නැගීසිටුවන්න, අපේ රටේ ආර්ථිකයට සම්බන්ධ කරගන්න මීට වඩා ලොකු වැඩපිළිවෙළක් තිබිය යුතුයි.
සංස්කෘතික හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම
දීලා තියෙන රුපියල් 10,000න් මිනිස්සුන්ට හැරෙන්නවත් බැහැ. හතර පස්දෙනෙක් එක්ක තේ බිව්වාම 10,000 ඉවරයි. වගකිව යුතු රජයක් හැටියට දරාගන්න පුළුවන් ප්‍රමාණයකුත් තිබෙනවා. රජයට ලැබෙන ආදායමත් එක්ක, ගෙවන්න තියෙන පඩිත් එක්ක, පඩි රුපියල් 10,000කින් වැඩි කිරීමත් එක්ක, තියෙන හොරකම දූෂණය වංචාවත් එක්ක ටිකක් දරාගන්න අමාරුයි තමයි.
රටේ හැමතැනම රජකරලා තියෙන්නෙ හොරකමයි දූෂණයයි. මිනිස්සු බලාපොරොත්තු නොවුණු ලොකු ව්‍යවසනයක් වුණා. ඒක ගණනය කරන්න බැහැ. සමහර ගෙවල්වල බ්ලොක් ගලක්වත් නැහැ. මිනිස්සුන්ගේ හැඳුනුම්පත්, පාස්පෝට්, ඇඳුම් පැලඳුම් ගහගෙන ගියා. දරුවෝ අරගෙන කඳවුරකට ගිහින් බේරුණා. කොස්ගුලනේ කන්ද ඇවිත් ගඟට වැටුණා. සුනාමිය ආවා වගේ ගඟේ වතුර ඉස්සිලා ගෙවල් ටික ඔක්කොම කඩාගෙන ගියා.
ඒ ගමේ ස්වයං රැකියා කරපු මිනිස්සුන්ට දැන් කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සුන්ට ඇඳිවතවත් නැහැ. ස්වයං රැකියා කළ උපකරණ සියලුම දේ ගහගෙන ගියා. දැන් ඒ මිනිස්සු කූඩාරමක ඉන්නෙ. රුපියල් 10,000ක් දීලා හිත සන්තෝෂ කිරීමක් කළාට ඒක තේරුමක් නැහැ. අර්ධ හානි පූර්ණ හානි කියලා ගණනය කරලා ඒක දෙන්නෙ. එදා ඉඳන්ම රජය කළේ ඔය වගේ දේවල් තමයි. හැබැයි ඊට වඩා වැඩි දේවල්වලට නිරාපරාදේ මේ රටේ සල්ලි වියදම් කරනවා.
මේ මිනිස්සු නැවත නැගීසිටුවන්න, අපේ රටේ ආර්ථිකයට සම්බන්ධ කරගන්න මීට වඩා ලොකු වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒක ජාත්‍යන්තර වශයෙන් හරි තියෙන්න ඕන. ඒකට ජාත්‍යන්තර උදව් ගන්න ඕන. පිටරටින් ආවයි කියන භාණ්ඩ කොහේට ආවද කොහාට ගියාද කියලා අපි දන්නෙ නැහැ. ඒක වුණේ ආපදා කළමනාකරණ එකෙන්.
විදෙස් රටවලින් මිනිස්සු ආධාර ද්‍රව්‍ය එව්වා. මට ඊයේ කතා කළා එංගලන්තයේ මහත්වරු ටිකක්. ඒ අය ලක්ෂ තිහක විතර බඩු එකතු කරලා. වැඩිපුර එකතු කරලා තියෙන්නෙ කිරිපිටි. එක පිටි පැකට් එකක් රුපියල් තුන්දාස් ගාණක් වෙනවලු. ඒවා රේගුවෙන් නිදහස් කරන්නෙ නැහැ. මට කුවේට්වලින් බඩු වගයක් එව්වා. ඒ ටික නිදහස් කරගන්න මට ලක්ෂ 09ක මුදලක් ගෙවන්න කිව්වා.
පස්සෙ මගේ කැපකිරීම නිසා ලක්ෂ තුනක් විතර ගෙවලා ඒ ටික අරගෙන ආවා. ඒ වගේ කෝටි ගාණක බඩු රේගුවේ තවමත් දිරනවා. නැවක වුණත් බඩු එවන්නම් කියලා මට හිතවතුන් දැන්වුවා. නමුත් මෙහෙට ආවාම නිදහස් කරන්නෙ නැහැ. මේක අපරාධයක්. රජය අන්ධයෝ විදියට වැඩ කරන්නෙ. මේ සඳහා ස්වේච්ඡාවෙන් හරි කණ්ඩායමක් දාලා මේවා එකින් එක පරීක්ෂා කරලා රජයේ ගාණෙ හරි බෙදලා දුන්නම් ඉවරයි.
කෝටි ගාණක හාල්, ලුණු, සීනි, තේ කොළ පල්වෙලා කුණු වෙලා යනවා. ලැබෙන දෙයවත් මිනිස්සුන්ට දෙන්නැති ක්‍රමයක්, පාලනයක් දැන් රටේ තියෙන්නෙ. මෙතැන නිලධාරිවාදය තියෙන්නේ. මට කතාකරපු එංගලන්තයේ මහත්තයා එවපු ලක්ෂ ගාණක බඩු තොගය එළියට ගන්න විදියක් නැහැ. ඒ අය දෙරණට එවලා තියෙන්නෙ. දෙරණටත් ඒවා ගන්න බැහැ.
මට එවපු විශාල පාර්සල් 15කට වැඩිය තියෙනවා ගන්න බැරුව. අපි ඒක අතහැරලා දැම්මා. අරයගේ ලියුම් අරන්, මෙයාගේ ලියුම් අරන් යනවට වඩා හොඳයි ගමේ මිනිස්සුන්ගේන් බැනුම් අහන් ඉන්න එක.
ඒ විදියට ආපුවා තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මිනිස්සුන්ට දුන්නෙ. වියළි ආහාර බෙදද්දිත් පක්ෂ දේශපලනය තියෙනවා. නිලධාරීන් අතරේ මහින්ද රාජපක්ෂට පක්ෂ කට්ටියක් ඉන්නවා. ඒ අය මහින්ද රාජපක්ෂගේ අයට විතරයි බඩු බෙදන්නේ. මේ නිලධාරීන් අතරේ මෛත්‍රීපාල මහත්තයාට හිතවත් කට්ටියක් ඉන්නවා.
ඒ අය විශේෂයක් කරන්නේ තමන්ගේ අයට විතරයි. මෛත්‍රීපාල මහත්තයාට හිතවත් අය එක එක පැති බාරගෙන චොපර්වලින් එන බඩු බාගෙන ඒ අයට ඕන කට්ටියට විතරයි දුන්නෙ. ඒ මිනිස්සු මම ගියාම චෝදනා කළා යටවුණු මිනිස්සුන්ට නොදී වතුර නොදැක්ක මිනිස්සුන්ට ඒ අය බඩු බෙදුවා කියලා. සාධාරණව මනුස්සකමට, ගුණවත්කමට බඩු බෙදුවේ නැහැ.
පිඹුරේ තියෙන අවතැන් කඳවුරට මම ඊයේ ගියා. ඒ අයගේ ගෙවල් නාය යනවා කියලා මම තමයි රුපියල් හත්අටදාහක ලයිට් අරන් දීලා, වියළි ආහාර ලබාදීලා, ඩෙංගුවලට වටේ තියෙන කානු ටික කපලා ඉන්න දුන්නෙ. ඒ මිනිස්සු සිටියදී ගෙවල්වල සිටින අයට රුපියල් 10,000ක් දීලා.
මේක තනිකරම හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. දැන් මිනිස්සුන්ට දුක කියාගන්න කෙනෙක් නැහැ. මිනිස්සු ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්ට කියනවා. ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරීන්ට කියනවා. ග්‍රාම නිලධාරී ඒ කියන දේ පිළිගන්නවා. නැත්නම් නිශ්ශබ්දව ඉන්නවා. මේකෙ ඉන් එහාට යන්න තැනක් නැහැ.
මෙතැනදී රජය, දිස්ත්‍රික් ලේකම්වරුන් මැදිහත්විය යුතුයි. පසුගිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී මම කිව්වා මේකට කමිටුවක් දාන්න කියලා. මේ මිනිස්සු උදේ ඉඳන් අපිව හොයාගෙන ඇවිත් දුක්ගැනවිලි කියනවා. ඉතිං අපට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ. කමිටුවක් දැම්මාම නැවත පරීක්ෂණයක් කරන්න ඕන. එහෙම තැන් ගොඩක් තියෙනවා. හැම තැනම ගැටලු තියෙනවා.
ඒ නිසා රුපියල් 10,000න් ගොඩ එන්න බැහැ. මිනිස්සුන්ට ඉඩම් දෙන්න ඉඩම් පවරා ගන්න ඕන. දැන් ඉඩම් පවරා ගන්න ගියාම වතු අධිකාරීවරු ඉඩම් දෙන්නෑ. ඒ අය පෙන්වන්නෙ දැන් ඉඩම්වලටත් වඩා වැඩක් නැති ඉඩම්. කැලේ වැවුණු, හෙල් තියෙන ඒවා ඒ අය පෙන්වන්නේ. මදුරාවල ප්‍රාදේශීය ලේකම්තුමිය ඉඩම් ටික මනින්න ගියාම වතු අධිකාරීවරයෙක් ඉඩම් මනින්න දුන්නේම නැහැ. එයා පෙන්වන්නේ තනිකර වළක්. ඒකේ මිනිස්සු පදිංචි කරන්න බැහැ.
කඳු නාය යන ඒවා, නොයන ඒවා ගැන එම්.බී.ආර්. වාර්තා දෙනවා. ඒ කණ්ඩායමේ ඉන්නෙ නිලධාරීන් තුන්දෙනයි. බුලත්සිංහල මොන්ටිසෝරියකින් මට කතා කළා. එන්.ජී.ඕ. එකකින් එම මොන්ටිසෝරිය හදලා දෙන්න පොරාන්දු වෙලා. එම්.බී.ආර්. එකේ වාර්තාව ඉල්ලනවා මේක හදන්න. ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන්ට මේක කියලා තියෙනවා.
නමුත් මෙම ඉඩම සුදුසුද නැද්ද කියලා පරීක්ෂණයක් කරන්න නිලධාරීන් නැති නිසා එම්.බී.ආර්.එක මෙතැනට එන්නෙ නැහැ. මේ වගේ හැම ගැටලුවකින්ම පීඩා විඳින්නේ, දුක් විඳින්නේ, අපහසුතාවට පත්වෙන්නෙ අහිංසක අසරණ දෙමව්පියො, දරුවො පමණයි. නිලධාරීන්ට මේ ගැන ගාණක්වත් නැහැ. එක එක්කෙනාට පාස් කරන එක විතරයි ඒ අය කරන්නෙ.
ජනාධිපතිතුමා හා අගමැතිතුමා කල්මරන්නෙ නැතිව මේකට මැදිහත් වෙලා ක්ෂණිකව ඉඩම් ටික පවරා ගන්න ඕන. විපතට පත්වූ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්, වතු සමාගම්, එල්.ආර්.සී. එකේ ඇමති, සභාපති, වැවිලි කර්මාන්ත ඇමති, නිවාස අධිකාරිය, ආරක්ෂක අංශය ඇතුළු වගකිව යුතු බලධාරීන් ටික ගෙන්වලා මේ ගැන සාකච්ඡා කරලා විසඳුමක් දෙන්න ඕන. තනි තීන්දුවක් අරන් දිනයක් දෙන්න ඕන වැඩ ඉවර කරන්න ඕන කියලා. ප්‍රේමදාස මහත්තයා ඉස්සර වැඩකළේ ඒ විදියට. නමුත් එහෙම ක්‍රමවේදයක් දැන් පේන්න නැහැ.
සාකච්ඡා කරනවා, සාකච්ඡාවලට යනවා, ඒවාට කෝටි ගණන් සල්ලි වියදම් කරනවා. ඊට වඩා දෙයක් මේ රටේ නැහැ. ජනාධිපතිතුමා කෝටි ගාණක් වියදම් කරලා පාහියන්ගලට ගියා. සපත්තු දාලා, ග්ලව්ස් දාලා, ලෑලිකෑලි ටිකක් විසිකරලා ආවා. දේශලපාලන බලය පෙන්වන්න එතැනට ආවේ.
බදුරලියට අගමැතිතුමා ආවා, ප්‍රාදේශීය ලේකම් එක්ක කතාකරලා ගියා. අගමැතිතුමා ඒවි කියලා බලාපොරොත්තුවෙන් මිනිස්සු ලෑස්ති වෙලා හිටියා පන්සලක. එතැනට එන්න අවදානම් කියලා අගමැතිවරයා එතැනට ගියේ නැහැ. මිනිස්සුන්ට අවදානමක් නැහැ, නමුත් අපේ නායකතුමාට අවදානම්. එයා එතැනින් හැරිලා ගියා. මේවා අපට කියන්න කෙනෙක් නැහැ. මේවා කියන්න ගිහින් අපි නිකන් පිස්සෝ ගාණට වැටිලා තියෙන්නෙ.
දැනට බුලත්සිංහල ආසනයේ ආපදාවට හසුව යනඑනමං නැතිව 1004ක් ඉන්නවා. ඒ ජනතාව පදිංචි කරන්න ඉඩම් අක්කර 120ක් ඕන. තාම තික්බොක්කාවල කන්ද පාමුල පවුල් 26ක් ඉන්නවා. ඒ කන්ද පුපුරලා තියෙන්නෙ. ඒ මිනිස්සුන්ට ස්ථිර තැනක් දෙනකම් ඒ මිනිස්සු යන්නෙ නැහැ. ඒ අයගේ ළමයි පාසල් යනවා. ඒ අයට පහසුකම් දෙන්න ඕන. පාසලක්, පාරවල් ටික ඒ අයට හදලා දෙන්න ඕන. මේක විහිළුක් නෙමෙයි.
ඒ මිනිස්සුන්ගේ ගැටලුව තේරුම් අරන් මහාමාර්ග ඇමතිතුමා ගෙන්වලා විසඳුම් ටික දෙන්න ඕන. ඒක බොරුවට අරයට මෙයාට බාරදීලා හරියන්නෙ නැහැ. අපි හිටියනම් ඔය තැන්වල අපි දන්නවා කරන විදිය. ජනතාව අපට කිව්වට වැඩක් නැහැ. අපි කෑගහනවා. අපි උදව් කරනවා. උදේ ඉඳන් මිනිස්සු මං හොයාගෙන එනවා දුක කියාගෙන. එම්.බී.ආර්. වාර්තා දෙන්නෙ නැහැ කියනවා.
මියගිය අයට මරණ සහතික දෙන්නෙ නැහැ කියනවා. 10,000 දීමනාව දෙන්නෙ නැහැ කියනවා. මියගිය අයට අධිකරණ නියෝගයක් අරන් මරණ සහතික ටික අරන් දෙන්න ඕන. ඒවා අවුරුදු ගණන් පරක්කු කරන්න බැහැ. රස්සාවල් කරපු කට්ටිය ඉන්නවා.
ඒ අයගේ ලියකියවිලි හදන්න තියෙනවා. මරණ සහතිකය නැතිව වන්දි ගෙවන්නෙ නෑ. අතුරුදන් සහතිකය විතරයි මේ අයට දෙන්නෙ. බුලත්සිංහල ආසනයේ මියගිය 38ක් හා අතුරුදන් වූ 39ක් ඉන්නවා. ඊට අමතරව අවතැන් වූ කට්ටිය විශාල ගණනක් ඉන්නවා.
මේ මිනිස්සුන්ට විකල්පයක් හොයන්න ඕන. පිඹුර අවතැන් කඳවුරේ 15ක් විතර එකට නිදා ගන්නවා. එතැන තරුණ ගැහැනු ළමයි, පොඩි ළමයි, තරුණ අම්මලා ඉන්නවා. ඒ අය එක්ක කුලීකාරයෝ, හවසට බීලා එන අයත් ඉන්නවා.
මට මේවා තනියම හොයන්න බැහැ. ඇමතිවරු, ආයතන ප්‍රධානීන්, වැඩට බැහැලා, ගෙයක් ගෙයක් ගාණෙ ගිහින් මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න ඕන. අපේ රටේම මිනිස්සු තමයි මේ දුක්විඳින්නෙ. ඒ දුක තේරුම් ගන්න ඕන. මේකෙන්ම හැදෙන බඩු ටිකක් තමයි දැන් ඉන්නෙ. මේකෙන්ම හොරකම් කරන ටිකක් තමයි දැන් ඉන්නෙ.
කට්ටියක් එක ගෙයක් හදලා දීලා ඒක ජාත්‍යන්තරයට පෙන්වලා ගෙවල් දහයක විතර සල්ලි ගන්න හදනවා. මේවා වැරදි වැඩ. මේවා ගැන ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි මම ගිහින් කියන්න ඕන නැහැ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි අන්ධ, ගොළු බීරෝ නෙමෙයි. ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලෙ එයාට කවුරුවත් ගිහින් කියන්නෙ නැහැ.
ප්‍රේමදාස මහත්තයා උදේ පාන්දර ඇවිල්ලා ඔක්කොටම කෝල් කරලා ගෙන්වලා ගන්නවා. ආයතන ප්‍රධානීන්, ඇමතිවරු ගෙන්වලා අහනවා මොනවද වෙලා තියෙන්නෙ කියලා. මාධ්‍යවලින් ප්‍රශ්න පෙන්වා දෙනවා. ඒක දිහාවත් බලලා විසඳුමක් දෙන්න මේ අය උත්සාහ කළ යුතුයි. මම පුළුවන් හැම වෙලාවේදීම ජනතාවගේ ප්‍රශ්න ගැන ඒ අයට කියනවා.
ප්‍රශ්න කියන්න ඕන, අහන්න පුළුවන් අයට විතරයි. අන්ධයන්ට, බීරන්ට ප්‍රශ්න කියලා වැඩක් නැහැ. ග්‍රාම නිලධාරීන්ට, සමෘද්ධි නියාමකට, එල්.ආර්.සී. එකට ඕන විදියට දැන් වැඩ යන්නෙ. මේ අය පාලනය කරන්න නායකයන්ට හයියක් තියෙන්න ඕන. කැඳ අච්චාරුවක් වුණු ආණ්ඩුවකට මේවා කරන්න බැහැ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd