Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
දේශපාලන පක්ෂ සිය බලය පෙන්වීම සිදුකරනුයේ තම පක්ෂ වෙත පාර්ලිමේන්තුවේ ඇති ආසන සංඛ්‍යාව පෙන්වමිනි. මේ හේතුවෙන් එක් පක්ෂයක මන්ත්‍රීවරයෙකු තවත් පක්ෂයක් විසින් බිලීබාගැනීමට ගන්නා උත්සාහයක් අතීතයේ සිට අපි දුටුවෙමු. මේ වනවිට බල අරගලය පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය තුළද මේ තත්ත්වය දැකගත හැකිය. එමෙන්ම මුදලට විකිණෙන මන්ත්‍රීවරුන් පිළිබඳවත්, ඒ අතර වැඩි ලංසුවකට විකිණීමට උත්සාහ ගන්නා මන්ත්‍රීවරුන් පිළිබඳවත් විවිධ තොරතුරු පසුගිය කාලය පුරා අනාවරණය විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යන බවට දින කිහිපයක සිට ප්‍රකාශ කරමින් සිටිති. මේ අතර ඇතැමුන් දැමූ ඩීල් පිළිබඳවද තවකෙක් ප්‍රසිද්ධ කරමින් සිටිති.
කෙසේ වුවද ආණ්ඩුවෙන් යන බවට පාරම්බාමින් ප්‍රසිද්ධියේ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ අරුන්දික ප්‍රනාන්දුය. මේ සතියේ කතාබහට ලක්වූ චරිතය වූයේද ඔහුය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡා කිහිපයකින් පසුව වුවද, ඔහු ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් අවශ්‍ය නම් යන බවද ප්‍රකාශ කළේය.
නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ ගැටලු විසඳීමට ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටින විට අනෙකුත් ඇමතිවරුන් ප්‍රසිද්ධියේ විවේචන කිරීම්වලින් වැළකී සිටියද අරුන්දික ඉන් නොනැවතී විවේචනය කළේය.
දිනපතා පුවත්පතකට සඳුදා දිනයේ ඔහු ප්‍රකාශ කර තිබුණේ, තමන් තවත් 10 දෙනෙකු සමග ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවය. එදිනම රාත්‍රියේ රූපවාහිනී වැඩසටහනකදී අරුන්දික, තවදුරටත් ආණ්ඩුව විවේචනය කළේය.
මේ සියල්ලම ජනාධිපති මෛත්‍රීට ආරංචි වූ විට දැඩි ලෙස කෝපයට පත්වූ ඔහු වහාම අරුන්දික ධුරයෙන් නෙරපීය. විපක්ෂයට යන බවට පාරම්බෑ අරුන්දික ධුරයෙන් නෙරපාවි යැයි ඔහු නොසිතූ බැවින් අරුන්දිකද තීරණය පිළිබඳ තිගැස්සුණි. කෙසේ වුවද එය දැනගත් වහාම අරුන්දික මාධ්‍යයට පැවසුවේ, දූෂිත ආණ්ඩුව ගෙදර යැවීමට වහාම කටයුතු කරන බවයි. මින් පසු තමන් කටයුතු කරන්නේ, සිය ප්‍රදේශයේ ජනතාවගේ මතයට බවද ඔහු පැවසීය.
එදින රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ හමුවේදී ජනාධිපතිවරයාද අමාත්‍යවරුන්ට තදින් කතා කළේය.
ආණ්ඩුවෙන් ඉවත්වන බව කලින් ප්‍රකාශ කර තිබූ අමාත්‍යවරු මෙදින වචනයක්වත් කතා නොකළහ. ඒ වෙනුවට සිදුවූයේ පක්ෂය ශක්තිමත් කිරීමට පොරකමින් වගකීම් භාරගැනීමය.
දැඩි ලෙස ආණ්ඩුව විචේචනය කළ අරුන්දික බදාදා උදෑසනම ජනාධිපති මෛත්‍රී හමුවීමට පැමිණියේය. නමුත් මෛත්‍රී අරුන්දික සමග කතා කළේ එතරම් කැමැත්තකින් නොවේ.
පෙර දිනයේ තමන් අතින් සිදුවූ සියලු දෝෂයන්ට අරුන්දික ජනාධිපතිවරයාගෙන් සමාව ගත් අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද අරුන්දික ජනාධිපතිවරයාට පැවසීය. අරුන්දිකගේ අඳෝනාව අසා සිටි මෛත්‍රී උත්සවයකට යෑමට ඇති බව පවසමින් පිටත් විය.
අරුන්දිකද ජනාධිපතිවරයාගේ රථ පෙළේ එක් රථයකට ගොඩවූ අතර, එය ජනාධිපතිවරයා ගමන් ගත් රථය නොවීය.
ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උලෙළට මෛත්‍රී සහභාගි වූ අතර, එම අවස්ථාවට අරුන්දික ප්‍රනාන්දුද එක්විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවය ඇමතීමක් සිදුනොවුණි. අරුන්දික ප්‍රනාන්දු මහතාට ළඟදීම වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බව සභාව ඇමතූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉඟි පළ කළේය.
ඔහු සභාවෙන් අවසර ගන්නා අවස්ථාවේ අරුන්දික ප්‍රනාන්දු මහතා හැඳින්වූයේ, "ඊයේ නියෝජ්‍ය ඇමති, අද මන්ත්‍රී, හෙට ආයෙත් නියෝජ්‍ය ඇමති" යනුවෙනි.
අරුන්දිකගේ ඉවත් කිරීම ගැන දැඩි ලෙස කතාබහට ලක්වූයේ සතියේ මාධ්‍ය හමුවේදීය. කැබිනට් හමුවට සහභාගි වූ ඇමති රාජිතගෙන් සහ දයාසිරිගෙන් මාධ්‍යවේදීහු විවිධ ප්‍රශ්න විමසූහ.
'ඇමතිතුමා අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමතිතුමා පදවියෙන් ඉවත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කළේ ඇයි? මේ ගැන විවිධ කතා මතුවෙනවා. අරුන්දික මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාගෙන් කෝටි 25ක් ඉල්ලුවා කියලා කියනවා. ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළා කියලා කියනවා. "කෝටි 25ක් දෙන්න මගෙ ළඟ සල්ලි නැහැ. තිබුණත් මේ වගේ කෙනෙක් තියාගන්න සල්ලි දෙන්නේ නැහැ' කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයෙන් ඒ මුදල දෙනන්ම් කියලා එහෙට යන්න හදනවා කියලා කියනවා. අගමැතිතුමා හමුවෙලා සල්ලි ඉල්ලුවා කියලා කියනවා. මේ කතා ඇත්තද ඇමතිතුමා."
එයට පිළිතුරු දුන්නේ ඇමති රාජිතයි, 'අපි කියන්න දෙයක් නැහැනේ. මේ හැමදේම දැනගෙන තියෙන්නේ* යැයි රාජිත කිව්වේ සිනහවෙමිනි.
පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් කෝටි 600ක සිල්රෙදි බෙදාදීමට වැරදිකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ කොමිසමේ අධ්යක්ෂ අනුෂ පැල්පිට වසර තුනකට සිරගත කෙරුණේ පසුගිය සතියේය. බ්‍රහස්පතින්දා සිරගත කෙරුණු ඔවුන් සිකුරාදා දිනයේ බන්ධනාගාර රෝහලට මාරුකර වූයේ සීනි වැඩිවූ බව පවසමිනි.
කොළඹ මහාධිකරණයේදී මෙම නඩුව දින 24ක් විභාගයට ගත් අතර, පසුව සාධාරණ සැකයකින් තොරව වරද ඔප්පුවන බැවින් වරදකරුවන් බවට පත්වූවන්ට සිරදඬුවම් නියම කෙරිණි. මෙම කිසිදු දිනයකදී මහාධිකරණයේදී ප්‍රකාශයක් සිදුනොකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිරදඬුවම් නියම වූ ලලිත් සහ අනුෂ බැලීමට වැලිකඩ බන්ධනාගාරය ගොස් පැමිණි විට එම නියෝගය ලබාදුන්නේ තමන් බව පිළිගත්තේය.
&මේක වරදක් නොවේ. මේක පැහැදිලිවම ජනතාවගෙන් ආපු ඉල්ලීමක්. ඒ අනුව ගත්තු තීන්දුවක් මේක. මේ මැතිවරණය සඳහා කරපු එකක් නෙවෙයි. අපි වේලාසන යවලා තිබ්බේ. මගේ ඡායාරූප තිබුණේ නැහැ. මේ තීන්දුව අසාධාරණයි. අපි අභියාචනා කරනවා. මේ නියෝගය දුන්නේ මම. මම පිළිගන්නවා වරදක් නැහැ. මාව අවුස්සන්න එපා.* මහින්ද එය පැවසුවේ තරමක් තර්ජනාත්මක ස්වරූපයෙනි.
නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක බන්ධනාගාරය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට එක්වෙමින් සිරකරුවන්ට දෙආකාරයකට සලකන බව පවසමින් චෝදනා කරන්නට වූයේ අඟහරුවාදාය.
'ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට නිරෝගීව උසාවියට ආවා. තීන්දුව දුන්නු ගමන් ලෙඩ වුණා. චීවරධාරීන්, හොරුන්ට කඩේ යනවා. හොරුන්ගේ සල්ලි ගෙවන්න පාරට බැහැලා සල්ලි හොයන්න හදනවා. ලලිත් වීරතුංග, අනුෂලාට හෝටල්වලින් ආහාර ලැබෙනවා. නීතිය දෙවිදියකට සලකනවා. එහෙම වෙන්න බැහැ. ඒ කියන්නේ මෙයලා ඩීල් දානවා'
සිල්රෙදි නඩුවේ වැරදිකරුවන්ගේ දඩමුදල් ගෙවීමට භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත සිදුකිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ මෙවැන්නකි.
"මං දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා සිල්රෙදි සම්බන්ධයෙන් කිපිලා තියෙනවා. මේ රටේ සිල්රෙද්දක්වත් බෙදන්න බැරිද කියලා අහලා තිබුණා. අපේ රටේ බෞද්ධ ජනයා, හාමුදුරුවන් වහන්සේලා කිපෙන්න ඕන ඒකට නොවෙයි. සිල්රෙද්දක් අල්ලසක් ලෙස පාචිච්චි කිරීම ගැනයි කිපෙන්න ඕන. ඇත්තටම කිපෙනවා නම්, එයයි කළ යුත්තේ. මම දැක්කා බන්දුල ගුණවර්ධන කියනවා මේ වන්දිය ගෙවන්න රුපියල රුපියල එකතු කරනවා කියලා. ඒ අස්සේ කියනවා අභියාචනා කරනවා කියාලා. අභියාචනා කරනවා නම්, දඩමුදල් ගෙවන්න ඕන නැහැ. තීරණය පිළිගන්නවා නම්, විතරයි දඩමුදල් ගෙවන්න ඕන. දැන් මොකද කරන්න හදන්නේ, ජනතාවගේ සල්ලිවලටත් කෙලින්න හදන්නෙ."
ඇමති රාජිත මේ පිළිබඳ අදහස් දැක්වීමට සූදානම් වී කැබිනට් මාධ්‍ය හමුවට පැමිණ තිබිණි. සිල්රෙදි බෙදාදීමේදී එහි ඇතුළත් කර තිබූ සටහනක් ඔහු කියැවීය.
'සීල, සමාධි, ප්‍රඥා ධර්ම මාර්ගයේ පියවරෙන් පියවරට ගමන් කිරීමටද, සියලු කුසල් ක්‍රියාවල නිරත වී ගුණධර්ම රැස්කිරීමටද, දුක් දොම්නස්වලින් මිදී ආධ්‍යාත්මික සුවයෙන් සිත් සැනසීමටද අවසන බුදු, පසේ බුදු, මහ රහතුන් වහන්සේලා නිවි සැනසී වදාළ නිවන් සම්පත් සාක්ෂාත් කරගැනීමටද කැමැති සියලු පින්වතුන් වෙත, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට අනුව යමින් දැහැමි රටක තිරසාර පැවැත්ම සහ එහි අභිවෘද්ධිය තහවුරු කරනු වස් සකස් කරන ලද මෙම දහම් පඬුර මහත් වූ භක්ත්‍යාධරයෙන් පිරිනැමූ වගයි' ලෙස එහි සඳහන්ව තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිල්රෙදි බෙදාදීමේ වගකීම භාරගැනීම පිළිබඳවද රාජිත මෙසේ සඳහන් කළේය.
"එතුමාට මේ ප්‍රකාශය කරන්න තිබුණේ කලින්. දැන් වීරයා වගේ කතා කරනවා. නඩු තීන්දුව දීලා ඒ මිනිස්සු හිරේ ගියාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. මේක වැරැද්දක්. වැරැද්ද දැන් ඔප්පුවෙලා තියෙනවා. එහෙම නම්, මේ වැරැද්ද කරලා තියෙන්නේ එයා. මේ නඩුව දවස් 24ක් විභාග වුණා. ඒ දවස් 24න් එක දවසක අධිකරණයට ඇවිත් මහින්ද මහත්තයට මේ කරුණු කියන්න තිබුණා. එහෙම කළේ නැහැ. දඬුවම් දෙනකම් ඉඳලා වැලිකඩට ගිහින් එනගමන් කියන එක එයාගේ වීරත්වය.
මේ නියෝගය දුන්නේ මහින්ද මහත්තයා කියලා ඔහු බාරගන්නවා නම්, මේ ප්‍රකාශය උඩ තව පුද්ගලයෙකුට අධිකරණයට යන්න පුළුවන්."
උතුරු මහ ඇමති විග්නේශ්වරම් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැකීමට සතිය ආරම්භයේදීම ගිය අතර, සංඝ සභාව සමග සාකච්ඡාවකටද එක්විය. නමුත් විග්නේශ්වරම් මෙම සාකච්ඡාවට එක්වූයේ තනිවය.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නායකවරුන් මහ නායක හිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමට සූදානමින් සිටි අතර, එයට ප්‍රථම විග්නේශ්වරම් මෙලෙස මහ නායක හිමිවරුන් බැහැදැකීමට ගියේය.
නමුත් විග්නේශ්වරම් මෙලෙස යන බවට දෙමළ ජාතික සන්ධානයේ නායකවරුන් හෝ දැනුවත්කර නොතිබුණි.
විග්නේශ්වරම් මෙලෙස මහ නායක හිමිවරුන් බැහැදැකීමට යාම සම්බන්ධයෙන් මේ වනවිට දෙමළ ජාතික සන්ධානය අතර මත ගැටුමක් හටගෙන තිබේ.
එහි ඇතැම් පක්ෂ නායකයන් මේ වනවිට විග්නේශ්වරම්ට දෝෂාරෝපණය කර තිබේ.
එමෙන්ම මහා නායක හිමිවරුන් සමග සාකච්ඡාවෙන් පසුව විග්නේශ්වරම් මාධ්‍යයට පැවසූ කාරණා සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි ලෙස විවේචනය කර තිබේ. නමුත් විග්නේශ්වරම් මේ කිසිවකට පිළිතුරු සපයා නොමැත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ලාල් සිරිසේන විසින් පැදවූ රථයේ ගැටී ජීවිතක්ෂයට පත්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
ඒ.ජේ.එම්. ජයරත්න සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ ඒ.ජේ.එම්. බුද්ධදාස මෙහිදී ජීවිතක්ෂයට පත්විය. ඒ.ජේ.එම්. ජයරත්න ජවිපෙ දිරිය පුරවැසි සමිතියක සභාපති ධුරය දැරීය. බුද්ධදාස වකුගඩු රෝගියෙකු වූ අතර, ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් එමින් සිටියදී මෙලෙස අනතුරට ලක්විය. රිය අනතුරෙන් පසුව වාහනය පලා ගිය අතර, එය පැදවූ ලාල් සිරිසේන පොලීසියේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගත්තේය.
මෙම සිදුවීමෙන් පසු දින, එනම් පසුගිය ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා මිය ගිය දෙදෙනාට අවසන් ගෞරව දැක්වීමට පොළොන්නරුවට ගොස් තිබිණි. ජනාධිපතිවරයාගේ පැමිණීම රහසක් වූ අතර, කිසිදු මාධ්‍යවේදියෙකුට එය දැනගැනීමට නොහැකි වී තිබිණි. ජනාධිපතිවරයා සමග මහින්ද අමරවීර ඇමතිවරයා පැමිණ සිටි අතර, ආරක්ෂකයන් කිහිපදෙනකුට පමණක් එය සීමා විය.
"ඔබතුමාගේ මල්ලි මගේ මනුස්සයා මරාගත්තා* යනුවෙන් මිය ගිය ජයරත්නගේ බිරිඳ හඬා වැටුණි. ජනාධිපතිවරයා ඇය අස්වසාලීමට කටයුතු කළේය.
ජවිපෙ පොළොන්නරුව සංවිධායක ටී.බී. සරත් සමග කතාබහ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ අනතුරුවය.
"අපි මේ ගැන නීතියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් අපි ඔබතුමාගෙන් මේ පවුලට, දරුවන් දෙදෙනාට යුක්තිය බලාපොරොත්තු වෙනවා. මොකද මේ පවුල බලාගත්ත දෙන්නා දැන් ජීවතුන් අතර නැහැ. දරුවන්ට යන කලදසාව ගැන අනිවාර්යෙන්ම මැදිහත් වෙන්න ඕනෑ. ඔබතුමාගේ මල්ලිට යුතුකමක් තිබුණා අනතුරට පස්සෙ අඩුම තරමේ මේ දෙන්නා රෝහලට ගෙනියන්න. ඒක කළේ නැහැ* ටී.බී. සරත් කියා සිටියේය. &අනිවාර්යෙන්ම ඒ පවුල වෙනුවෙන් සාධාරණයක් ඉටුකරනවා. මම ඒ ගැන ඩඩ්ලිට කියන්නම්. අනිවාර්යෙන් මැදිහත් වෙන්න කියලා මම කියනවා. දරුවන් ගැන යුතුකමක් ඉටුකරනවා* ජනාධිපති මෛත්‍රී කියා සිටියේය. අවසන් කටයුතු සඳහා සහභාගි වූයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාය. ජවිපෙ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අවසන් කටයුතු සඳහා සහභාගි විය.
ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිදරව්වක් කළේය. ඒ මෙරට තිඛෙන සියලුම ධීවර වරායන් පෞද්ගලික අංශයට බදු දීම සඳහා මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන ඇති බවය. ධීවර නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි ගොඩනැගිල්ල සහ භූමියද ධීවර වරායන් 10ක්ද කෝටි 170කට ආසන්න මුදලකට මේ වනවිටත් ඇස්තමේන්තු කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙම හෙළිදරව්වත් සමග ධීවර අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පුවත්පතකට කියා තිබුණේ දේශීය හෝ විදේශීය හොඳ ගැනුම්කරුවෙක් පැමිණිය හොත් වරායන් බදු දෙන බවත්, ධීවර වරායන්හී වැලි ඉවත් කිරීමට විශාල මුදලක් දැරීමට සිදුවන නිසා ධීවර සංස්ථාවට එම මුදල සොයාගත නොහැකි බවත්ය. කෙසේවෙතත් මෙම හෙළිදරව්ව කළ පසු දිනම හිටපු ධීවර ඇමතිවරයෙකු විජිත හේරත් මන්ත්‍රීවරයාට දුරකථනයෙන් ඇමතීය. &මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවද? මේ ධීවර වරායන්වලට එකතුවන වැලි ටික විතරක් විකුණලා සංස්ථාවට ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒ නිසා මේ වරාය ටික විකුණන් නොදී බේරගන්න ඔබතුමාලා වැඩ කරන්න. අපි පුළුවන් උදව්වක් කරන්නම්* හිටපු ඇමතිවරයා විජිත හේරත්ට කියා සිටියේය. කෙසේ වෙතත් මහින්ද අමරවීර ඇමතිවරයා පසුදින මාධ්‍ය හමුවක් පැවැත්වීය.
"ජවිපෙ මන්ත්‍රීතුමාට කවුරු හෝ වැරදි තොරතුරක් ලබාදීලා. ධීවර වරාය බදු දෙන්න කැබිනට් පත්‍රිකා අත්සන් කරලා නැහැ. එක වාක්‍යයක් අල්ලගෙන චෝදනා කරනවා" ඇමතිවරයා කීය.
මේ ප්‍රකාශයත් සමග සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ කැඳවුම්කරු රත්න ගමගේ විජිත හේරත්ට ඇමතුමක් දී මේ බව කියා සිටියේය.
"දැන් ඇමති කලබල වෙලා. එහෙනම් ඇයි කැබිනට් පත්‍රිකාවට ජනාධිපතියි, ආරක්ෂක ඇමතියි, මුදල් ඇමතියි නීරීක්ෂණ ඉදිරිපත් කළේ. නාවික හමුදාවේ කටයුතුවලට බාධාවක් නොවන විදියට බදු දෙන්න කියලා තමයි ආරක්ෂක ඇමති විදියට ජනාධිපති නිර්දේශ දීලා තියෙන්නේ. වැඩේ එළියට ආවාම දැන් කලබල වෙලා විකාර දොඩවනවා. කොහොමත් මේවා බදු දෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ. ධීවර සංස්ථාවේ සේවකයෝ සියල්ලම මේ වැඩේට විරුද්ධයි* විජිත හේරත් කියා සිටියේය.
බදු පනතට ආසයි... විගණන පනතට බයයි...
ජවිපෙ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජවිපෙ ගත් තීරණයත් සමග ක්ෂේත්රයේ බොහෝ පිරිසක් ජවිපෙ මන්ත්‍රීවරුන්ට ස්තුති කරමින් දුරකථන ඇමතුම් ලබා දුන්නේය.
&මන්ත්‍රීතුමා මේ ආණ්ඩුවේ ලොක්කෝ බදු පනත දාලා අපිට බදු ගහනවා. අයවැය ගේනකොට දිගට හරහට බඩු මිල වැඩි කරලා, බදු ගහලා, දඩ වැඩි කරලා අපෙන් සූරලම ගන්නවා. ඒත් ඒ ගන්න බදු මුදල් වලින්, දඩ මුදල් වලින් මොකද රටට වෙන්නේ කියල ජනතාවට දැනගන්න විදියක් නැහැ. විගණන පනත සම්මත කළා නම් මේ සියලුම රාජ්‍ය ආයතනවල මුදල් ගනුදෙනු වෙන්නේ කොහොමද කියලා ජනතාවට පැහැදිලිව දැනගන්න පුළුවන්* හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදී කියා සිටියේය.
"ඔව්, මේ ආණ්ඩුව බදු පනතට ආසයි. විගණන පනතට බයයි. වංචා දූෂණ නැති කරන්න කැමති නම් මේ පනත ගේන්න ප්‍රමාද කරන්නේ නෑනේ. දැන් අවුරුදු දෙකහමාරයි ප්‍රමාදයට. මේ විගණන පනත සම්මත වුණොත් ඇමතිවරුන්ට තමන්ට ඕන විදියට ටෙන්ඩර් ටික යාළුවන්ට දෙන්න බැහැ. ලලිත් වීරතුංග වගේ නිලධාරීන්ට ඕන ඕන විදියට රජයේ මුදල් දේශපාලනයට යොදාගන්න බැරිවෙනවා. ඒකයි මේ පනත ප්‍රමාද කරන එකේ රහස. අපි මේ පනත කොහොම හරි පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා" සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
ලෝකයේ ප්රජාතන්ත්රවාදය ප්‍රවර්ධනය කිරීමේ මුඛ්‍ය අරමුණින් යුතුව මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අනුබද්ධිතව ක්‍රියාත්මක වන ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ 25 වැනි සංවත්සර සමුළුව පසුගිය සතියේ ලන්ඩනයේදී පැවැත්විණි.
වසර 22ක් පුරා එහි සක්‍රීය සාමාජිකයෙකු වන කථානායක කරු ජයසූරිය මහතා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්විය.
එහි විශේෂත්වය වූයේ මේ සඳහා අවශ්‍ය ගමන් පහසුකම් ඇතුළු සියලු වියදම් රජයේ අරමුදල්වලින් ලබා නොගැනීමට කථානායකවරයා පියවර ගෙන තිබීමය.
එහිදී වෙස්ට්මිනිස්ටර් පදනමේ පරිණත ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කථානායකවරයාට ලැබුණේ සුවිශේෂී පිළිගැනීමකි.
1995 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස තමන් ශ්‍රී ලංකාවට වෙස්ට්මිනිස්ටර් පදනමේ සාමාජිකත්වය ලබාගත් අවස්ථාවේ සිට දශක දෙකක් ඉක්මවන කාලය තුළ ලෝකයේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා පදනම තැබූ ඉදිරි පියවර හෙතෙම අනුපිළිවෙළින් විග්රහ කරමින් කළ කතාවට සමුළුවේ සියලුම නියෝජිතයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෑත කාලීනව තබා ඇති ප්රජාතන්ත්රවාදී ඉදිරි පියවර තුළින් සිය රටවලටද වැදගත් පූර්වාදර්ශ ලබාගත හැකි බවටද විශ්වාසය පළකළ සමුළු නියෝජිතයන්, ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ක්රමයේ පරිණතභාවයට පත් වූ සිය සාමාජික රටක් බව පැවසුවේ ගෞරවයෙනි.
නව ඡන්ද ක්‍රමයක් තුළින් නව ව්‍යූහයක් යටතේ ඉදිරියේදී ස්ථාපිත වන පළාත් පාලන ආයතනවල පරිපාලන ක්‍රියාදාමය හා භෞතික සම්පත් වැඩිදියුණු කිරීමට වෙස්ට්මිනිස්ටර් පදනමේ සාමාජික රටවල සහාය තමන් අපේක්ෂා කරන බව පැවසූ කරු ජයසූරිය මහතාට ඒ සඳහා ඉතා සුබවාදී ප්‍රතිචාරයක් ලැබිණි.
40 වැනි උදාගම්මානය - දිඹුලාගල, මීවත්පුර "සඳරැස්ගම" ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට ඉකුත් සෙනසුරාදා උදෑසන කොළඹ සිට හෙලිකොප්ටරයකින් යෑමට නියමිතව සිටි ජනාධිපතිවරයාට අයහපත් කාලගුණය නිසා සිදුවූයේ ගමනින් අඩක් මෝටර් රථයෙන් ගොස් ඉතිරි කොටස පමණක් ගුවනින් යාමටය. ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියට පෙර උදෑසනින්ම ගම්මානය වෙත ගිය සජිත් ප්‍රේමදාස මහතා එහි නිවාස 34ටම ගොස් පවතින තත්ත්වය සොයා බැලුවේය. එහිදී හමු වූ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරිය ඇමතිවරයාට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ ගම්මානය භාර තාක්ෂණ නිලධාරියා ඉතා හොඳින් සිය වැඩකටයුතු කළත්, ගම්මානයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් ආදියට වාර කීපයක්ම නොපැමිණි බවයි. සජිත් එම නිලධාරියා කැඳවාගෙන කීවේ
“ඔයා හොඳින් වැඩ කරන කෙනෙක් බව මං දන්නවා... ඒත් ඉහළ නිලධාරීන් කැඳවන රැස්වීම් වලට යන්න තරම් විනීතකමක් තියෙන්නට ඕනෑ... මම ඔයාගේ ඉදිරි වැඩකටයුතු දිහා බලාගෙන ඉන්නේ* කියාය. අනතුරුව ඒ වනවිට ජනාධිපතිවරයා පැමිණ සිටි ස්ථානයට ගොස් එහි සිට ජනපතිවරයාගේ මෝටර් රථයෙන්ම උත්සව භූමියට පැමිණෙමින් සිටි සජිත් දුටුවේ ජනාධිපතිවරයා මග දෙපස බලමින් යමක් කීමට සැරසෙන අයුරුය. “සජිත්, මම පසුගිය ආණ්ඩුවේ හිටියෙ බොහොම පීඩනයකින්. මට මෙහේ සංවර්ධනය කරන්න එක සතපහක් දුන්නෙ නෑ.. දැන් තමයි මම "පිබිදෙන පොළොන්නරුව" වැඩසටහනින් මේ පැත්ත සංවර්ධනය කරන්න පටන් අරන් තියෙන්නේ* යැයි කී ජනාධිපතිවරයා ඊළඟට ඇසුවේ,
“සජිත් මම දකිනවා ඔයාගේ උදාගම්මාන වැඩපිළිවෙළ... මේ 40 වැනි ගම නේද? තව කීයක් හැදෙනවද?" කියාය.
“දැනට රට පුරා ගම්මාන 454ක් ඉදිකරගෙන යනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඒ ගණන 500ක් වෙනවා. 2018, 19,20 අවුරුදු තුනේ තවත් ගම්මාන 2000ක් හදනවා. ඒ අනුව සර් අපි ඊළඟ මැතිවරණයට යන්නේ අලුත් උදාගම්මාන 2500ක වැඩ අරඹලයි* සජිත් කියද්දී ජනාධිපතිවරයා පිබිදුණු මුහුණින් යුතුව කීවේ,
“ඒක නම් නියම ඉලක්කයක්නේ" කියාය.
ජනාධිතිපති මෛත්‍රීගේ වැඩිමහල් දියණිය වන චතුරිකා පියාගේ දේශපාලන දිවිය සම්බන්ධන් ග්රන්ථයක් රචනා කර ඇති අතර, එය නම්කර ඇත්තේ "ජනාධිපති තාත්තා" නමිනි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වන සිකුරාදා දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී එය දෙරට වැඩීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රී ධුරයට පත්ව වසර දෙකක් ගතව ඇත. ජනාධිපතිවරණ සමය මෙන්ම ඊට පෙර දේශපාලන දිවිය සම්බන්ධයෙන් මෙහි කරුණු ඇතුළත් කර තිබෙන බව චතුරිකා පවසා තිබිණි.
දියවන්නාරාළ විසිනි
diyawannarala@gmail.com
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd