ජීවිත 249ක් අහිමි කරමින්, තවත් 2,000කට තුවාල සිදුකරමින් තුර්කියේ පාලනය පෙරළීම සඳහා සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය ජනතා බලය හමුවේ පරාජයට පත්වී වසරක් ගතවීම පසුගිය 15 වැනිදාට මහත් හරසරින් සමරුනු ලැබීය.
තුර්කි ජනපති රෙසෙප් තයීප් එර්ඩොගාන් බලයෙන් පහකර පාලන බලය අල්ලා ගැනීම සඳහා එරට ආරක්ෂක හමුදාවන්ගෙන් කොටසක් මෙම හමුදා කුමන්ත්‍රණය ආරම්භ කළත්, එවකට තුර්කි ජනතාව හමුදාව ඉදිරියේ නොබියව නැගී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස එම කුමන්ත්‍රණය ලත්තැන්ම ලොප් විය.
ඒ අනුව, ප්රජාතන්ත්රවාදයේ සහ එක්සත්භාවයේ සංකේතයක් ලෙස ජූලි 15 වැනිදා තුර්කියේ වාර්ෂික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි.
මෙම අසාර්ථක හමුදා කුමන්ත්‍රණය සමරනු වස් පසුගිය 15දා එරට පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව ඉස්තාම්බුල් නගරයේ පැවැති දැවැන්ත ජන රැළියටද ජනාධිපතිවරයා සහභාගී වෙමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇමතීය.
යළිත් තුර්කිය වෙත මරණ දඬුවම හඳුන්වාදීමට කටයුතු කරන බවත්, කිසිවෙකු දේශද්‍රෝහී වන්නේ නම් ඔවුන්ගේ හිස් දෙපළු කර දැමීමට තමා පසුබට නොවන බව හෙතෙම ජනතාව ඉදිරියේ කියා සිටියේය. කෙසේ වෙතත්, තුර්කිය යම් ලෙසකින් මරණ දඬුවම යළි හඳුන්වාදීමට කටයුතු කළහොත් ඔවුන්ගේ යුරෝපා සංගම් සිහිනය බොඳව යනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
&තුර්කි ජනතාව යනු කවුරුන්ද යන්න පසුගිය ජූලි 15 වැනිදා සමස්ත ලෝකයටම පෙන්වන්න හැකි වුණා* යැයි එර්ඩොගාන් සඳහන් කළේය.
මෙම අසාර්ථක හමුදා කුමන්ත්රණයෙන් පසුව තුර්කි රජය විසින් එරට වෘත්තිකයන් 15,000ක් පමණ සිය ධුරයන්ගෙන් නෙරපා දැමීම ක්ෂණිකව කටයුතු කළ අතර මේ වනවිට ලක්ෂයකට ආසන්න පිරිසක් එසේ සේවයෙන් පහ කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. එවකට මේ සම්බන්ධයෙන් තුර්කියට දැඩි විවේචන එල්ල වුවත්, මෙම හමුදා කුමන්ත්‍රණයට සහභාගී වූවන් සහමුලින්ම උදුරා දැමීමේ ප්රයත්නයක තම රට නිරතව සිටින බව තුර්කිය අවධාරණය කළේය.
මේ අතර, තුර්කියේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට වසරක් ගෙවීයන තැන තුර්කිය යළිත් තවත් සිවිල් සේවකයන් 7,400ක් සිය ධුරයන්ගෙන් නෙරපා දැමීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ මෙම පිරිස ත්‍රස්ත සංවිධාන සමග සෘජුව හා වක්‍රව සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමගිනි.
හමුදා කුමන්ත්රණයෙන් පසුව මෙතරම් සිවිල් සේවකයන් පිරිසක් එකවර සිය ධුරයන්ගෙන් ඉවත්කිරීමට තුර්කිය කටයුතු කළ ප්‍රථම අවස්ථාව මෙය බවද විදෙස් වාර්තා පවසයි. මෙසේ සිය ධුරයන්ගෙන් නෙරපා දැමුණු පිරිස් අතර ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, හමුදා සහ පොලිස් නිලධාරීන් සිටින බව සඳහන් වෙයි.
තුර්කියේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය ඇමෙරිකාවේ රැඳී සිටින ෆෙතුල්ලාහ් ගුලෙන් නමැති ඉස්ලාම් පූජකවරයාගේ මෙහෙයවීමෙන් සිදුවූ බවට තුර්කි රජය චෝදනා නඟන අතර, ඔවුන් ඒ මතයේ තවදුරටත් රැඳෙමින් ඔහු සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි පවසා හිටපු ඉස්තාම්බුල් ආණ්ඩුකාරවරයා වන හියුසෙයින් අව්නි මුතුල් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කළේය.
අසාර්ථක හමුදා කුමන්ත්රණයෙන් පසුව තුර්කිය ඊට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් ධුරයෙන් නෙරපා දමන විට 350 දෙනෙකු සිය නිලයන් පහත හෙළීමටත්, හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයන් වූ හකාන් සුකුර් සහ අරීෆ් එර්ඩෙම් යන අයගේ පදක්කම් යළි ලබාගැනීමටත් කටයුතු කිරීමද විශේෂත්වයකි.
තුර්කිය මේ සියලු ක්‍රියාවන් සිදුකරන්නේ සැබෑ ලෙසම කුමන්ත්‍රණයට සහභාගී වූවන් මැඬලීමට නොව, දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ උවමනාවෙන් බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් පැවතියත්, ඒ සියලු චෝදනා එකහෙලා බැහැර කරන තුර්කිය එරට ජනාධිපතිවරයාගේ ආශිර්වාදයද සමග ගෙවීගිය සති අන්තයේදී ඉස්තාම්බුල් හා අන්කාරා නගරා ආශ්‍රිතව අසාර්ථක හමුදා කුමන්ත්‍රණය සැමරීම මහත් හරසරින් සිදුකිරීම ලෝකය විමසිල්ලෙන් බලා සිටි සිදුවීමක් බව නොකිවමනාය.