ඔහුගේ උස අඟල් 32කි. නමුත්, ඔහුගේ වයස අවුරුදු 15කි. අඟල් 32ක් යනු සාමාන්‍ය අවුරුදු 4ක දරුවෙකුගේ උසට සමාන වුවත්, ඉන්දියාවේ, පන්ජාබයේ ක්වාඩින් ගම්මානයේ ජීවත් වන රාමන් රයික්වාර්ගේ සිහින ඒ අඟල් 32ක හුරුබුහුටි උසට සීමා කළ නොහැකිය.
බොහෝ දෙනෙකු රාමන් කුඩා දරුවෙකු ලෙස වරදවා වටහා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. නමුත්, මේ වනවිට පන්ජාබය පුරා රාමන් යනු මහා තරුවක් වීමේ ඉඟි පළ කරන කුඩා තරුවකි.
තමාගේ කොට ජීවිතය කිසි ලෙසකින්වත් තම සිහින පසුපස හඹා යෑමට බාධාවක් කර නොගත් රාමන්ගේ එකම බලාපොරොත්තුව දක්ෂ විකට ශිල්පියෙකු ලෙස කරළියට පැමිණීමටය.
"මට ඕන වෙලා තියෙන්නෙ ලෝකයේ කොටම විකටයා ලෙස කරළියට පැමිණීමටයි. මගේ විහිළුවලට මිනිසුන් සිනහා උපදවනවා තරම් සතුටක් මට නැහැ. මම හිතන්නෙ මගේ මේ දක්ෂතාව මගේ නම වගේම මගේ වැඩ ලෝකයට පෙන්වන්න තියෙන ලොකු අවස්ථාවක්" යැයි රාමන් පවසයි.
එමෙන්ම, සිය ජීවිතය සම වයසේ මිතුරන් ඇසුරට බාධාවක් කර නොගත් රාමන් බොහෝ මිතුරන් ඇති කර ගැනීමේ දක්ෂයෙකු ලෙසද ප්රකටය. ඒ නිසාම, රාමන් පන්ජාබය පුරා සිය නම වඩාත් ඉස්මතු කරගත් චරිතයක් ලෙසද මේ වනවිට ඉස්මතු වී ඇත.
"අම්මයි, තාත්තයි මාව ඉස්කොලෙ යැව්වා. මම ඉගෙන ගන්න බොහොම අසායි. නමුත්, මගේ පන්තියේ මිතුරු මිතුරියන්ටයි, පාසලේ අනෙක් ළමයින්ටයි මා විකටයෙක් වුණා."
"ඔවුන් නිතරම මගේ කොට ජීවිතය ගැන උසුළු විසුළු කළා. මට විවිධ නම්වලින් කතා කළා."
"කොහොම හරි මේ සීමාවක් නැති උසුළු විසුළු ඉවසාගෙන සිටි සීමාව එක් අවස්ථාවකදී බිඳී ගියා. මම අම්මටයි, තාත්තටයි කියල ඉස්කෝලෙ ගමනට ආයුබෝවන් කිව්වා"
කෙසේ වෙතත්, මේ වනවිට ඉන්දියාව පුරා ජනතාව රාමන් බැලීමට පැමිණෙන බව ඔහුගේ මව සහ පියා කියයි. හය දෙනෙකුගෙන් යුතු පවුලක මෙවැනි ශරීරය වැඩීම දුර්වල කරන රෝගී තත්ත්වයකින් පෙළෙන එකම දරුවාද රාමන්ය. නමුත්, අනෙක් දරුවන්ටත් වඩා රාමන් පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බව ඔහුගේ දෙමව්පියන් පවසන්නේ රාමන් පිළිබඳ ආඩම්බරයෙන් බව නම් සැබෑය.