මහා කලු සිංහලයා යැයි අතීතයේ යමේ සිංහල කම සම්බන්ධයෙන් කතා කළ ඒ වචනය තුළ සිංහලයින් තම කලු පැහැති වර්ණය ගැන මහත් අභිමානයෙන් කතාකළ බව නොරහසක්. කලු පැහැය ගැන ආඩම්බර වූ යුගයට තිතක් තබමින් දැන් දැන් ගැහැණු පිරිමි වෙනසක් නැතිව සුදු පැහැවෙන්න දඟලන එක යම් තරමකට විලාසිතාවක් වෙලා . ආසියාතික අපගේ සමේ වර්ණය බටහිර රටවල අයගේ මෙන් පැහැපත් එකක් නොවන බව ඔබ දන්නවා. නමුත් මෑතක සිට ආකර්ශණීය වෙළඳ උපක්‍රම හරහා ඔබටත් සුදුවෙන්න පුලුවන් එන්නතක්, බෙහෙතක් ඇති බව කීවම කාටත් හොරෙන් ඒ ගැන උනන්දුවෙන්න ඔබටත් හිතුණ නම් අනිවාර්යෙන්ම ඔබ මේ ලිපිය කියවිය යුතුමයි. අද සෞඛ්‍ය පිටුව වෙන්වනුයේ මේ කාරණය සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කිරීම සඳහායි
සුදු පැහැය යන්න සම සම්බන්ධයෙන් යොදන විට අප සාමාන්‍ය ලෙස හඳුන්වන සුදු පැහැයෙන් වෙනස් පැහැයක් බව අප දන්නවා. කිරි සුදු පාට සහ ඇත්දළ පාට යන දෙවර්ගයම සුදු පැහැය ලෙස හැඳින්වුවත් ඇත් දත් පැහැය යනු මදක් කහ පැහැයට හුරු වර්ණයක්.සමේ සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දක්වන්නේ දුඹුරු පැහැයෙන් මිදුණු ඇත් දළ පැහැයට හුරු ඡවි වර්ණයක්. ඔබේ සමේ වර්ණය පිහිටන්නට උපකාරි වෙන්නේ මෙලනින් නම් වර්ණකාරකයයි. එය ඔබේ සිරුරේ පිහිටා ඇති සහ ඔබේ සිරුරේ ක්‍රියාකාරීවන මට්ටම අනුව ඔබේ සමේ පැහැය තීරණය වෙන අතරම එය මුලුමණින්ම ඔබේ ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරිත්වය හා බැඳුනු සිද්ධියක්. මෙය කිසිම ඖෂධයක් පානය කිරීමෙන් කිසිවිටෙකත් වෙනස් කළ නොහැකි බව මුලින්ම ඔබ දැන සිටිය යුතු කාරණයයි. කෙනෙකුගේ සමේ පැහැය ස්ථීර වශයෙන්ම වෙනස් කළ හැකි සාර්ථක ක්‍රමයක් පැවතියා නම් කලු සුදු භේදය සම්බන්ධ ගැටලු අවම කරන්නට එය යොදාගන්නවා නිසැක නොවේද? එය කලු සුදු බේධය සම්බන්ධයෙන් ඇතිවූ යුධමය වාතාවරණයන් පවා වෙනස් කරමින් ලෝකයේ සාමයෙන් බැබලුණු වාතාවරණයක් ඇති කරන්නට තිබුණා. එවැන්නක් නොමැති වීම තුළම සමේ පැහැය කිසියම් උපක්‍රමයකින් ස්ථීරව වෙනස් කළ නොහැකි බව ඔබ වටහා ගන්නවා ඇති.
සුදු වෙන්න පුළුවන් ග්ලූටතියොන් භාවිතා කළොත් මේ වෙළෙන්දන් ඔබේ මනසට දෙන ලොකුම බොරුවයි. ගුලූටතියොන් සම්බන්ධයෙන් මෙකළ යොවුන් පිරිස තුළ ඇතිව තිබෙන උන්මාදය නැතිනම් ඇබ්බැහිය කෙබඳු ආකාරයක එකක්ද. යන්න අප විමසා බලන්නට කළින් ලෝකයේ ග්ලූටතියොන් යන සංයෝගය යොදාගන්නේ කුමන දෙයකටද ඒවා නිපදවෙන්නේ කුමක් අරබයාද ඒ ඇසුරින් සිදුකරන කාරිය කුමක්ද යන්න මුළින්ම විමසා බලමු. මෑත කාලයේ අප වැඩිපුර පිළිකා රෝගීන් සම්බන්ධයෙන් කතාකරනවා. ග්ලූටතියොන් යනු පිළිකා රෝගීන් වෙනුවෙන් පමණක් ලබාදෙන ඖෂධයක් බව ඔබ දන්නවාද ? එය පිළිකා සඳහා ලබාදෙනවා කීවාට එය පිළිකාව සුව කරන රෝගයක් නම් නෙවෙයි. එය ලබාදෙන්නේ පිළිකා නාශක ඖෂධවලින් ඇතිවෙන අතුරු ආබාධ අවම කරන්නටයි. කීමෝ ප්‍රතිකාර ලැබීමේදී සමේ වර්ණය තාවකාලිකව අඳුරු පැහැයක් ගන්නට ඉඩ තිබෙන අතර එය කීමෝ ප්‍රතිකාරයේ අතුරුඵලයක්. ඒ හේතුව නිසා මෙම එන්නත ඉතාම සුළු වශයෙන් පිළිකා රෝගීන්ට යොදනුයේ එයින් ඇතිවන අතුරු ඵලයක් ලෙස සම මදක් පාට වැටීමයි. ඒ හැරෙන්නට මෙම එන්නත වෙනත් කිසිම හේතුවක් සඳහා යොදා ගැනෙන ප්‍රතිකාරයක් නොවේ. එහි එක අතුරු ආබාධයක් ලෙස සම මදක් පැහැපත් වුණත් එය තාවකාලිකව දිස්වීමක් පමණයි. ඒ අනුව සුදුවෙන්නට යැයි කියා ග්ලූටතියොන් එන්නත යොදා ගන්නේ නම් එයින් අදහස්වනුයේ රෝගියෙකු නොවන අයෙකු එහි පවතින අතුරු ආබාධය වැඩි මුදලක් දී ලබාගෙන ශරීරගත කරගන්නා බවයි. සමේ වර්ණය ඇතිකරන මෙලනින් සමේ ආරක්ෂාව කෙරෙහිද වගකීමක් දරන්නකි.
ආසියාතිකයන්ගේ සමේ මෙලනින් වර්ණකාරකය තරමක් බහුල බැවින් සමේ සුදු පැහැයක් ඇති නොවන අතර එම හේතුවම සමේ ආරක්ෂණය කෙරෙහි බලපෑමෙන් චර්ම පිළිකා ආදියෙන් ස්වභාවික ආරක්ෂාවක් සලසයි. බටහිර රටවල හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම සඳහා මෙලනින් වර්ණකාරකය නොපිහිටීම නිසාම චර්ම පිළිකා බහුල බවක් දකින්නට ලැබෙයි. මෙලනින් වර්ණකය සමේ යම් තද පැහැති බවක් ඇතිකළ ද හිරු එළියෙන් සම ආරක්ෂා කර චර්ම පිළිකා සෑදීමට ඇති ඉඩකඩ වළක්වන බැවින් කලු පැහැති සම ( තද දුඹුරු පැහැයේ සම) ආසියාතික අපට යම් තරමක භාග්‍යයකි. තත්ත්වය මෙසේ පැවතෙද්දී මෙකළ ඇතැම් සුදුසුකම් සපුරන ලියාපදිංචිය සහිත වෛද්‍යවරු විසින්ද සිය සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ ඉල්ලීම පරිදි ලක්ෂ එකහමාර සිට ලක්ෂ හතර දක්වා මුදල් අය කර මේ එන්නත ඒ ඒ පුද්ගලයන්ට ලබාදෙන බව මේ සම්බන්ධයෙන් මෙකළ ඇසෙන අලුත්ම ආරංචියයි. මේ කාරණයට පසුබිම් වූ සියලු තොරතුරු අණාවරණය ව ඇති බැවින් ඒ වැනි වෛද්‍යවරු හා ඔවුන්ගේ වෛද්‍ය ආයතන වටලා එවැන්නන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටද නීතිමය වශයෙන්ද සම්පාදනය වී පවතී. එම වරදට හසුවෙන සාමාන්‍ය වෛද්‍යවරයන්ගේ ලියාපදිංචිය අවලංගුකරන්නට එය ප්‍රමාණවත් වරදකි.
ඖෂධයකින් එන අතුරු ආබාධයක් රෝගීන් නොවන අයට සැබෑ තත්ත්වය දැන දැන ලබාදීම නීතිමය වශයෙන් දඬුවම් පැමිණීය හැකි වරදක් වීම එයට හේතුවයි. මෙය ලෝකයේ කිසිම රටක ඖෂධ පාලනාධිකාරියෙන් සම පැහැපත් කිරීම සඳහා යොදාගත හැකි බවට කිසිම අනුමැතියක් ලත් ඖෂධයක් නොවේ.ග්ලූටතියොන් එන්නත පමණක් නොව අප මේ කතාකරන්නේ ග්ලූටතියොන් ස්ප්‍රේ ,කැප්සියුල් ,එනනත් ,ආලේපන ,යන මේ සියල්ලම පිළිබඳවයි. යම් අයෙක් මේවායින් කුමන දේ යොදාගත්තත් මෙයින් ඇතිවෙන සුදු පැහැය තාවකාලික එකකි. මාස කීපයක් ඇතුළත නැවතත් පෙර තිබූ පැහැයම ඇති වෙන බැවින් එය දීර්ඝකාලීනව භාවිත කරන්නට මේවා ලබාගන්නා පුද්ගලයාට සිදුවෙයි. මේ ඖෂධයෙන් ඇතිවන අනෙකුත් අතුරු ඵල මොනවාද යන්න තවමත් කිසිදු පරීක්ෂණයක් මගින් පරීක්ෂා කොට තහවුරු කර නොමැති වුවත් මෙය භාවිතයට ගැනීම තුළින් වකුගඩු අකර්මණ්‍යවීම හා රුධිරගත විෂ වීම් සහ සමේ ස්වභාවික ආරක්ෂාව බිඳවැටීමෙන් සම කිසියම් ඛාදනයකට ලක් වූ බවක් මේවන විටත් ප්‍රායෝගිකව ලොව පුරා අත්විඳ ඇති බව පැවසීම වරදක් නොවේ. වෛද්‍ය විද්‍යාත්මකව මේ ඖෂධයේ අතුරුඵල සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු නොවී පවතින අතර මෙය හිතුමතයේ භාවිතය ,ඖෂධයක් යැයි සිතා සිටින මේ සංයෝගය අනාගතයේදී කුමන අයුරින් මිනිස් සිරුර තුළ ක්රියාකාරීවී කුමන ප්‍රතිඵල ඇතිකරයිද යන්න පැවසීමට නොහැකිවීමේ ද ගැටලුවක් පවතී. මෙම ඖෂධය වෛද්‍ය විද්‍යානුකූලව වුවත් රෝගියෙකුට ලබාදෙන්නේ කෙටිකාලීනවය. ඒ පිළිකා රෝගය සඳහා කීමෝතෙරපි ලබාදෙන කාලය තුළදී එයින් ඇතිවෙන අනෙකුත් අතුරුඵල අවම කරන්නට
බව අප මුලින්ම සඳහන් කළෙමු. වරලත් වෛද්‍යවරයෙකු කිසිම අවස්ථාවක මේ ඖෂධය සමේ පැහැය සම්බන්ධයෙන් අනුමත කරන්නේ නැත. මෙය ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු මෙන්ම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු විසින්ද සම පැහැපත් කිරීම සඳහා අනුමත නොකරන ඖෂධයකි. ග්ලූටතියොන් පිළිකා රෝගීන්ට ලබාදෙන කීමෝ තෙරපි අතුරු ආබාධ ඉදිරියේ ඉතා සුලු ප්‍රමාණයකින් ලබාදීම ග්ලූටතියොන් ඖෂධයක් ලෙස හැඳින්වීමට ඇති එකම කාරණයයි. නමුත් සැබවින්ම සමේ පැහැය සම්බන්ධ ගැටලුවලදී මෙය කිසිම ආකාරයක අනුමැතියක් නොලත් සංයෝගයක් වන බැවින් සමේ පැහැය උදෙසා ඔබ මෙම සංයෝගය ඔබේ සිරුරට ඇතුලු කරගන්නට වෙහෙස ගන්නේ නම් එහිදී ඔබ දැන දැනම යම් ආකාරයක අවධානමක් බාරගන්නවා විය හැකි බවද සිහි තබාගන්න. එයට හේතුව අප මුලින් කීවාක් මෙන් කිසිම රටක ග්ලූටතයොන් සම්බන්ධයෙන් සාමාන්‍ය මිනිස් සිරුර කුමන ප්‍රතිචාරයක් දක්වන්නේද යන්න පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදුකොට නැති අතරම මේ වන විටත් භාවිත කළ අයට වකුගඩු අකර්මණ්‍යවීම ට තුඩු දීම මෙන්ම රුධිර පීඩනය සහ රුධිරයට විෂ වීම් ඇතිකිරීම වාර්තාගතව ඇති බැවිණි.
සමේ පැහැය යම් යම් අයට ඔවුන්ගේ අනනන්‍යතාවය මෙන්ම සුන්දරත්වයද ඉස්මතුවෙන ආකාරයෙන් ඇඳුම් පැලඳුම් ආදිය තුළින් වෙනස් කරගත හැකිය. මෙය ඔබට බටහිර රටවල සහ අප්‍රිකානු රටවල මෝස්තර නිරූපිකාවන් ආදිය සන්සන්දනය කිරිමේදී ඔවුන් ගේ සමේ කලු පැහැය ඔවුන්ගේ සුන්දරත්වයට කිසිදු බාධාවක් ඇතිකර නොමැතිවීම තුළින්ම වැටහෙනවා ඇත. රූපලාවණ්‍ය හෝ ලස්සන යනු පැහැපත් බව නොවේ. සැබවින්ම කාගේ වුවත් ලස්සන ඇත්තේ ඔවුන්ගේ නිරෝගීකම තුළය. කෘතිම ආහාර රටාවෙන් බැහැර ව නිසි පෝෂණයක් ලබමින් කෘතිම ආලේපනවලින් තොරව සමේ අලංකරණය පවත්වා ගන්නට ඔබ උත්සහ දරන්නේ නම් පැහැය සුදුවෙන්නට අවශ්‍යතාවයක් නැති බව ඔබටම වැටෙහනු ඇත. මතක තබාගන්න කලු පැහැති සමක් සුදු පැහැගන්වන්නට මෙතරම් දියුණු බටහිර විද්‍යාව ඖෂධ නිපදවා නැත. එසේ නොකරන්නට හේතුව විද්‍යාත්මකව සමේ පැහැය වෙනස් කළ නොහැකි බව හොඳින්ම දැන සිටීමේ හේතුවයි. එමෙන්ම සුදු පැහැති සම පැහැයෙන් අඩු සමට වඩා පිළිකා අවදානමක්ද දැක්වීමය. මෙහි වඩාත්ම කණගාටුදායක තත්ත්වය වනුයේ ආදායම් තත්ත්වය එතරම් යහපත් නැති නමුත් ආකර්ශණීය ලෙස යොදාගන්නා වෙළඳ උපක්‍රම විශ්වාස කර ඒවාට ගැති වී ඒවා හඹා යෑමේ හේතුවෙන් තිබුණාටත් වඩා සෞඛ්‍යමය ගැටලු ඇතිකර ගැනීමෙන් අපේම සහෝදර සහෝදරියන් ආර්ථික වශයෙන්ද කඩා වැටීමක් සිදුවීමය.