ළමා අපචාර සහ අපයෝජන වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාපිත නීතිය සම්බන්ධයෙනුත් එබඳු නඩු විභාගයන්වලදී අපයෝජනයට පත් දරුවන්ගේ සුභසිද්ධිය හා පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් පිළිබඳවත් විග්‍රහයක් ගෙන ඒමට අප නීතිඥ අරුණ පතිරණ ආරච්චි මහතා අද ට සම්බන්ධකර ගතිමු.
ශ්‍රී ලංකාවේ අපරාධ නීති ක්ෂේත්රය තුළ ළමයා පිළිබඳ නීතියට දැඩි රැකවල් යොදා ඇති අතර, ළමයාට සිදුවන බොහෝ අකටයුතුකම්වලට සහ එරෙහිව විවිධ පනත් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව /අපරාධ නඩු විධාන සංග්‍රහය දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන දැඩිව ක්‍රියාත්මක වන බව පෙනේ.
ලොව සියලු ළමයි අයිතිවාසිකම් අන්තර්ගතකොට ඇති එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියේ ළමයා යන්නට නියමිත වයස් සීමාවක් දක්වමින් ඉතාමත්ම පැහැදිලි නිර්වචනයක් අන්තර්ගතකොට ඇත්තේ ළමයා එතරම්ම වටිනා බැවිනි. එකී නිර්වචනය අනුව ළමයා යනු නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් වේ. එනමුත් අප රටේ ළමයා යන්න හැඳින්වීමට නීතිය මගින් නියමිත වයසක් දක්වා නොමැති වීම ප්‍රහේලිකාවක් බඳුය.
බොහෝ අවස්ථාවලදී දක්වා ඇති පරිදි ළමයා යනු කායිකව හා මානසිකව නොමේරූ සත්ත්වයෙකි. එබැවින් එකී සත්ත්වයා වරදට හසුවීමට හෝ පෙළඹවීමට ඇති හැකියාව වැඩිය. ළමයා අපරාධ කටයුතුවලින් ආරක්ෂා කළ යුත්තේ මන්දැයි යමෙක් පැනයක් මතුකරන්නේ නම් එයට දිය හැකි පැහැදිලි පිළිතුර වනුයේ මෙයයි. එසේ ළමයා හට රැකවරණය හා ආරක්ෂාව ලබාදිය යුතු බව අයිතිවාසිකම් ප්රඥප්තියේ හා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(4) වගන්තියෙන් සුවිශේෂීව සඳහන්කොට ඇත්තේ එබැවිනි.
2004 වර්ෂයේ ලොව සිදුකළ ගවේෂණයට අනුව සරණාගතයන් අතරින් 48%ක පමණ ප්‍රතිශතයක් ළමුයි. 2004 වර්ෂයේ ලංකාවේ ඇති වූ සුනාමි ව්‍යසන තත්ත්වයන් හමුවේ අපයෝජනයට හා අපචාරයට ලක්වූ ළමුන් ගණන අතිමහත්ය. එහිදී බලධාරීන්ගේ හෝ අවධානය යොමු නොවූ අපයෝජනයට හා අපචාරයට ලක්වූ ළමයි විශාල පිරිසක් ලංකාව තුළ ජීවත් වෙති.
විශේෂයෙන්ම ලංකාවේ අපරාධ නීතියෙන් සුවිශේෂීව දක්වා ඇති පරිදි ළමයාගේ අයිතීන් උල්ලංඝනය විය හැකි ප්‍රධාන ආකාර 02ක් ලෙස අපචාරය හා අපයෝජනය පෙන්වාදිය හැකිය. අපයෝජනය යනු ළමයෙකු වෙනත් පාර්ශ්වයක් විසින් නීත්‍යනුකූල නොවන ක්‍රියාවක් සඳහා යොදා ගැනීම වන අතර, අපචාරය යනු ළමයෙකු විසින්ම කරනු ලබන නීත්‍යනුකූල නොවන ක්‍රියාවකි.
වර්තමාන ගෝලීයකරණය වූ වටපිටාවක් තුළ දරුවා අහිතකර සමාජ බලපෑම් වලට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. මෙම අහිතකර බලපෑම් සියල්ලෙන්ම නොහැකි වුවද වැඩි ප්‍රමාණයකින් දරුවා ආරක්ෂාකර ගැනීමට නීතියට විශාල කාර්යභාරයක් පැවරී ඇත.
ඒ සඳහා නීතිය පිළිබදව දැනුවත් බව ලබා පවතින නීතින් ක්‍රියාත්මක කරලීමට සහාය වීම
සියලු දෙනාගේ නෛතික යුතුකමකි.
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත ඇතුළුව වෙනත් නීතීන් කිහිපයක්ද සංශෝධනය කර ළමා නීතියේ නව සංවර්ධනයක් ඇති කරලමින්, මෙතෙක් කල් නොතිබූ නව පැතිකඩ කීපයක්ද ඇතුළු කර ව්‍යවස්ථාදායකය විසින් ළමා අයිතිවාසිකම් නීති ක්ෂේත්රය තවදුරටත් පුළුල් කරමින් එක්සත් ජාතින්ගේ ළමා අයිතිවාසිකම් ප්රඥප්තිය අප රටේ බලාත්මක කිරීමට උත්සාහ දරා ඇත.
වර්තමාන සංකීර්ණ සමාජය තුළ දරුවා ඕනෑම ස්ථානයකදී අපයෝජනයටත්, අපචාරයටත් ලක්විය හැකිය. සන්නිවේදන තාක්ෂණය හා පරිගණක තාක්ෂණයේ දියුණුවත්, පවතින උග්‍ර ආර්ථික විෂමතාවනුත් අපරාධ සඳහා පහසු වටපිටාවක් සපයනු ඇත. එනිසාම ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපරාධ නීතිය වෙත පැවරී ඇති වගකීම අතිමහත්ය.1833 සම්පාදිත දණ්ඩ නීති සංග්‍රහය මගින් ප්‍රථම වරට ළමයින්ට සිදුවන හිරිහැර මගින් ළමයින් ආරක්ෂාකර ගැනීමට විධිවිධාන සැලසිණ. දණ්ඩ නීති සංග්‍රහය වරින් වර සංශෝධනයන්ට ලක් කරමින් කාලීනව නෛතික ප්‍රතිපාදන පුළුල් විය යුතු අවස්ථා සඳහා ප්‍රතිකර්ම යොදන ලදී.
වැදගත්ම සංශෝධනයක් ලෙස 1995 අංක 22 දරන සංශෝධනය දැක්විය හැකිය.
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මගින් හඳුන්වාදෙන නව අපරාධමය තත්ත්වයන්,
ළමයින්ට අදාළව කරනු ලබන අසභ්‍ය පළකිරීම්
ළමයින් ක_රත්වයට භාජනය කිරීම
ලිංගික අතවර කිරීම
කුට්ටනය
ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම
ව්‍යභිචාරය
බාලවයස්කාර ගැහැනු ළමයින් සමග ලිංගික සංසර්ගය
පෙන්වාදිය හැකිය.
ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ළමා අපචාර වැරදි සම්බන්ධව පැනවිය හැකි උපරිම මෙන්ම අවම දඬුවම්ද නියම කර ඇති අතර, විවිධාකාරයේ ලිංගික අපයෝජනයන්ගෙන් ආරක්ෂා වීම සඳහා වූ පුළුල් රැකවරණයක්ද ලබා දී ඇත.
දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) 363(අ) වගන්තියේ දක්වා ඇත්තේ අවුරුදු 16ට අඩු ගැහැනු ළමයෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදීම
ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නම් වූ වරද නිර්මාණය කරන බවයි. එම වරද හටගන්නා අවස්ථාවලදී ස්ත්‍රිය වයස අවුරුදු 12ට වැඩිවන්නා වූද එම පුරුෂයාගේ භාර්යාව වන්නා වූද සහ ඇය එම පුරුෂයාගෙන් නීතියෙන් වෙන්වී නොමැති නම් මිස ස්ත්‍රිය වයස අවුරුදු 16ට අඩු වන විට ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික කාර්යයේ යෙදෙන්නේ නම් එය නීතිය ඉදිරියේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.
මෙවැනි චෝදනාවකට ගරු මහාධිකරණයේ නීතිපතිවරයා විසින් චූදිතයාට එසේත් නැතිනම් වරදකරුට එරෙහිව අධිචෝදනා ගොනුකරන අතර, නීතිය ඉදිරියේ වරදකරු වීමෙන් අනතුරුව ඔහුට අවුරුදු 07ට නොඅඩු වූද, අවුරුදු 20ට නොවැඩි වූද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමත් සිදුකරනු ලබයි. ගරු අධිකරණය විසින් නියම කරනු ලබන්නේ නම් සුදුසු දඩයක් ගරු අධිකරණයට ගෙවිය යුතු වන අතර, අපයෝජනයට ලක්වූ පාර්ශ්වයට සුදුසු වන්දි මුදලක්ද ගෙවිය යුතු වනු ඇත.
මෙවැනි චෝදනාවන්ට ලක්වූ විට ඇතැම් විට වර්තමාන තත්ත්වය තුළ චූදිතයන් මුල් අවස්ථාවේදීම ගරු අධිකරණයේදී එකී චෝදනාවන්ට වරද පිළිගැනීමක් සිදුකරනු ලබන අතර, එකී වරද සිදුකරනු ලබන්නාගේ පෙර ලත් දඬුවම් පිළිබඳ වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව ගරු අධිකරණය විසින් සුදුසු දඬුවමක් නියම කරනු ලබන්නේ ඇතැම් විට අත්හිටවූ සිරදඬුවම්ද නියම කරමිනි. මෙහිදී අත්හිටවූ සිරදඬුවම් ලබාදීම යනු ගම්බද ජනතාව අතර ප්‍රචලිත වචනයක් වන ඇඟ බැඳීම යන දඬුවම් විශේෂයයි.
මෙවැනි තත්ත්වයන්වලදී ගරු අධිකරණය අපයෝජනයට ලක්වූ පාර්ශ්වයට අසාධාරණයක් සිදුනොකරනු ලබන අතර, දඬුවම සුදුසු වන පරිදි විශාල වන්දි මුදලක් ගෙවීමට වරදකරන තැනැත්තාට නියම කෙරේ.
තවද සමස්ත සමාජය තුළම දැකිය හැකි මූලික අඩුපාඩුවක් වන්නේ නීතිය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීමයි. එමගින් තමන් කරනු ලබන ක්‍රියාව නීතිය ඉදිරියේ දෝෂ සහිත වන්නේද නොවේද යන්න අවබෝධ කර ගැනීමට තරම් සමාජය නීතිය ඉදිරියේ පොහොසත් වන්නේ නැත. කුඩා කලම ප්‍රේම සබඳතාවලට යොමු වන දරුවන් නීතියේ වරදවල් පිළිබඳව දන්නේ නැත. තම හැඟීම් උද්දීපනය වන කාලවකවානුවේදී ඔවුනට නීතියෙන්ද වැඩක් නැත. ඔවුන්ගේ මනස ක්‍රියාත්මක වන්නේ ඔවුනට රිසි පරිදි මිස නීතියට රිසි පරිදි නොවේ.
එබැවින් ඔවුන් විවිධ අපචාරයන්ට ගොදුරු වේ. ප්‍රේමය රාගයට යොමු වීමත් සමග තම පෙම්වතිය සමග ලැගුම්හලකට ගොඩවන පෙම්වතා පෙම්වතියගේ ලෝකයම තම සුරතට ගන්නේ නොයෙකුත් බලාපොරොත්තුද ඇයට ලබාදෙමිනි.
නමුත් නීතියට එය අදාළ නැත. පෙම්වතිය වයස අවුරුදු 16ට අඩු වී යම් හෙයකින් අපයෝජනයක් සිදුවූ බවට කරුණු අනාවරණය වන්නේ නම් වරදකරු පෙම්වතා වුවද ඔහු නීතිය ඉදිරියේ වරදකරුවෙකු වන්නේය. නමුත් නිසි වයස සම්පූර්ණ වීමත් සමග අපයෝජනයට ලක්වූ දැරිය විවාහ කර ගැනීමෙන් අනතුරුව අදාළ විවාහ සහතික ආදී නිසි සහතික ඉදිරිපත් කිරීමෙන් නඩු කටයුතු අවසන් කර ගැනීමට වරදකරුවන් අද වන විට යොමුවීමක් දක්නට ලැබේ.
නමුත් ගරු අධිකරණය නියම කරන දඬුවමකට වරදකරු ලක්වීම නතර කළ නොහැකිය. ළමා අපයෝජනය හා අපචාරයට ලක්වන අවස්ථාවලදී දරුවා ගරු අධිකරණය ඉදිරියට ගෙන්වා ගැනීම එක් පැත්තකින් ඔහුට හෝ ඇයට සිදුවන තවත් හිරිහැරයකි. සමාජයේ ආවරණයට ලක්විය යුතු ඔවුන් සමාජයට අනාවරණය වීම වළක්වා ගැනීම සමාජයේම යුතුකමකි.
ළමයින් මල් වැනිය. ඔවුන් රැකගැනීම අපගේ යුතුකම වන්නේ එබැවිනි. මෙවැනි අපයෝජනයන්ට හා අපචාරයන්ට ලක්වූ දරුවා ගරු අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීම වළක්වාලමින් ඔහුගේ හෝ ඇයගේ සාක්ෂිය දිවුරුම් පෙත්සමක් මගින් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීම සුදුසු ක්රියාමාර්ගයකි. මෙමගින් දරුවාගේ උපරිම යහපත ගරු අධිකරණය ඉදිරියේ සුරක්ෂිත වනු ඇත. බොහෝ විට මෙවැනි අපයෝජනයන්ට ලක්වූ දරුවන් පරිවාස නිලධාරීන්ගේ භාරයට ගරු අධිකරණය යොමු කරනු ලබන අතර, දරුවාගේ උපරිම සුභසාධනය ගැන සැලකිලිමත් වෙමින් ළමයා සුදුසු ළමා නිවාසයකට යොමු කිරීම ගරු අධිකරණය මගින් සිදුකරන්නේ එබැවිනි. එමගින් දරුවා වෙනුවෙන් ගරු අධිකරණයට පරිවාස නිලධාරියෙකු යොමු වන අතර, එකී නිලධාරියා දරුවා වෙනුවෙන් ගරු අධිකරණයට කරුණු දැක්වීම කරනු ලබයි. යම් හෙයකින් දරුවා අධිකරණයට කැඳවීමක් කරනු ලබන්නේ නම් ගරු අධිකරණය විසින් එම නඩුව සුවිශේෂී තත්ත්වයක් සේ සලකා විවෘත අධිකරණයෙන් පිටත ගරු විනිසුරුතුමාගේ නිලමැදිරිය තුළ කැඳවනුයේ දරුවන්ගේ උපරිම සුබසෙත පිළිබඳව අවධානය යොමු කරමිනි. තවද ගරු අධිකරණයේ මෙවැනි නඩු සුවිශේෂී
වේලාවන්වලදීද කැඳවනුයේ දරුවා සමාජයේ අවධානයෙන් වෙන්කොට තැබිය යුතු හෙයිනි. මෙලෙස ළමා අපයෝජනයට හා ළමා අපචාරයට ලක්වූ දරුවන් ආරක්ෂාකර ගැනීමට නීතිය තුළ ප්‍රතිපාදන දක්නට ලැබුණද තවත් සුවිශේෂී අවස්ථා රැකගැනීමට සුදුසු වැඩපිළිවෙළක අවශ්‍යතාව උද්ගත වී ඇත.
දරුවන්ගේ නඩු විභාගයට ගත හැකි ළමා අධිකරණ තවත් බිහිවීමේ අවශ්‍යතාව සමාජයේ දැඩි අවධානයට යොමු වූ කරුණක් වන්නේ එබැවිනි. අපයෝජනයට හෝ අපචාරයට ලක්වූ දරුවා පරිවාස නිලධාරීන්ගේ භාරයට පත්වුවද ළමා නිවාසවලදී දරුවා නිසි ආරක්ෂාව යටතේ රැදීමට සුදුසු ආරක්ෂණ වැඩපිළිවෙළක අවශ්‍යතාවද වත්මන වන විට මතුවන ගැටලුවකි. වත්මන් නීතිය තුළ පනවා ඇති පහත ප්‍රතිපාදන යටතේ දරුවාගේ යහපත යම් මට්ටමකට ගොඩනැගීමට නීතිය පියවර ගෙන ඇති බව පෙනේ.
1.1999 අංක 27 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත
2.1998 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත
3.1989 අංක 05 දරන ගණිකා නිවාස ආඥා පනත
4.1956 අංක 47 දරන කාන්තාවන්, ළමයින් සහ යෞවනයන් සේවය යෙදවීම සදහා වන පනත
5.1999 අංක 37 දරන නඩත්තු පනත
6.ළමයින් හා බාලක පුද්ගලයන් පිළිබද ආඥා පනත
කොතෙක් නීතිමය ප්‍රතිපාදන පැවතියද අද වන විට අපරාධ රැල්ල වැඩි වී ඇත. ළමයින් කොතෙකුත් ආරක්ෂා කළද ඔවුන්ගේ ජීවිත විනාශ වීමට ගතවනුයේ නිමේෂයකි. පාතාලය රට පුරාම හිස ඔසවා ඇත. පාතාලයේ රජවරු යැයි කියන පිරිසකගේ ජීවිත දෙස බැලීමේදී ඔවුන් මෙම අපරාධ වලට යොමුවීමට අවශ්‍ය පරිසරය සකස් වී ඇත්තේ කුඩා කලදී ඔවුනට සිදුවූ අපයෝජන හෝ අපචාර විය හැකිය. එබැවින් එවන් පිරිසක් තව තවත් බිහිවීම වළක්වාලීම මුළු මහත් සමාජයේම යුතුකමකි.