රටට බත සැපයීමේ කාර්යයේදී ඔවුන් ඉටු කරන්නේ නිහඬ මෙහෙවරකි. එයින් නොනැවතී ඔවුන් ලෝකයේ සාගත තත්ත්වයන්ට මුහුණදුන් අනෙක් රටවලටත් සිය සේවය ලබාදෙමින් බී.ජී. යන කේත නාමය ඔස්සේ ශ්‍රී ලංකාව බැබළවීමට ක්‍රියා කළ ආයතනයකි. අද මෙම සටහන ගෙන එන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්යභාරය පිළිබඳවයි.
මහඉලුප්පල්ලමින් පල්ලම් බැස බතලගොඩට
1940 දශකයේ අගභාගය වන තෙක්ම මෙරට වී ප්‍රභේද වැඩි දියුණු කිරීම සඳහා වූ පර්යේෂණ සිදු වූයේ මහඉලුප්පල්ලම පිහිටි පර්යේෂණාගාරයේදීය. නමුත් පහසුකම්වල අඩුලුහුඬුකම් හේතුවෙන් හා දැඩි සේ බලපෑ ජල හිඟය හේතුවෙන් එම පර්යේෂණ අඛණ්ඩව සිදු කරගෙන යෑමට බාධා එල්ල විණි. ඒ අනුව එවකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්භිද විද්‍යාඥයා ලෙස කටයුතු කළ ආචාර්ය චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් මත 1952 වසරේදී වී පර්යේෂණ කටයුතු කුරුණෑගල දිස්ත්‍රික්කයේ බතලගොඩ ගොවිපොළට ගෙන ඒමට පියවර ගන්නා ලදී. මුල්කාලීනව මෙය %මධ්‍යම වී අභිජනන මධ්‍යස්ථානය^ ලෙස හැඳින්වූ අතර පසුකාලීනව වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ලෙසින් නම් කෙරිණි.
අදටත් ක්‍රියාත්මක සේනානායකයන්ගේ ආඥාව
වී පර්යේෂණායතනය පිහිටු වීමට පෙර සිටම බතලගොඩ ගොවිපොළෙහි බිත්තර වී නිෂ්පාදනය සහ වෙනත් පර්යේෂණ සුළු වශයෙන් සිදු කෙරෙමින් තිබිණි. 1902 වසරේදී පාකර් නම් ඉංජිනේරුවරයා විසින් බතලගොඩ ව්‍යාපාරය තවත් වැඩි දියුණු කිරීම නිසා මෙම ගොවිපොළට යල - මහ යන කන්න දෙකෙහිම අඛණ්ඩ ජල සැපයුමකින් සමන්විත විය. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී බතලගොඩ වැවෙහි ජල මට්ටම අඩි 03ක ප්‍රමාණයක් දක්වා අඩු වූ විට ඉතිරි ප්‍රමාණය මෙම ගොවිපොළෙහි වී වගාවට ඉතිරි කළ යුතු බවට නියෝගයක් පනවා ඇති අතර අදටත් එම නියෝගය එලෙසින්ම ක්‍රියාත්මක වෙයි.
රට වෙනුවෙන් ජාතික වගකීමක් කරට ගැනීම
වර්ෂ 1950 පමණ වනතෙක්ම වී වගා කටයුතු සඳහා යොදා ගැනුණේ සාම්ප්‍රදායික වී හෙවත් පැරණි වී ප්‍රභේදයන්ය. මෙම වී වර්ග වගා කිරීමෙන් දේශීය සහල් අවශ්‍යතාවෙන් සැපයීමට හැකියාව තිබුණේ 40෴ක ප්‍රමාණයක් පමණි. එම නිසා ඉතිරි 60෴ක් වූ සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු වූ අතර එවකට මෙරට ජනගහනය මිලියන 06ක් පමණ විය. 1940 වනවිට මෙරට වී වගාව වාර්තා කළේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.65 වැනි අඩු අස්වැන්නකි. එම නිසා ඒකීය ක්ෂේත්‍ර ඵලයක් තුළ ලබන අස්වනු ප්‍රමාණය වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය විය. මේ හේතුවෙන් රටට අවශ්‍ය සහල් රටේම නිෂ්පාදනය කර ගැනීමේ අභියෝගයට අප රටට මුහුණදීමට සිදු විය.
රට වෙනුවෙන් එම වගකීම සිය කරමතට ගත් වී පර්යේෂණායතනය පළමුව එතෙක් පැවති වී වර්ග අතරින් වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි වී ප්‍රභේද තෝරා ගෙන වගාවන් සඳහා යෙදවීය. ඒ අතරට පොඩි වී, මුරුංගාකායන්, පච්චපෙරුමාල්, කළු හීනටි, සුදු හීනටි, මඩතවාලු, සුලායි, කුරුළුතුඩ ඇතුළු වී ප්‍රභේද 21ක් පමණ ඇතුළත් විය. එම ප්‍රභේද වගා කිරීමෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 1.5ක පමණ අස්වැන්නක් ලැබුවද එයද කිසි ලෙසකින් ප්‍රමාණවත් නොවිණි. ඊට ප්‍රධානතම හේතු බවට පත් වූයේ මෙම සාම්ප්‍රදායික වී වගා කිරීමෙන් හට ගන්නා ගොයම් කඳ ශක්තිමත් නොවීම හා උසින් වැඩි වීම නිසා පහසුවෙන් ඇද වැටීමට ලක්වීම, පඳුරු ගහනය අඩු වීම, පොහොර සඳහා ප්‍රතිචාර දැක්වීම අඩුවීම, කොළදාව නිසා කෘමි හානි බහුල වීම ආදියයි. මේ නිසා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට පැරණි වී භාවිතයෙන් නොහැකි විය. ඊට විසඳුමක් ලෙස ආනයනික වී වර්ගයක් සමග මෙරට වී වර්ග දෙමුහුන් කිරීමෙන් සාර්ථක සහ වැඩි අස්වැන්නක් ලබාදෙන වී ප්‍රභේදයක් හඳුන්වා දෙනු ලැබීය.
2010 වනවිට සහල් අතිරික්තයක්
මේ ආකාරයෙන් වී පර්යේෂණායතනය සිය පර්යේෂණ ඔස්සේ පෙන්වූ ප්‍රතිඵලය අනුව රට තුළ සහල් නිෂ්පාදනය වැඩි වූ අතර සහල් ආනයනය කිරීම ශීඝ්‍ර ලෙස අඩු විය. 2010 වසර වන විට
ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත තත්ත්වයක් වාර්තා කිරීමත් සමග අතිරික්තය අපනයනය සඳහා යොමු කිරීමට පියවර ගැනිණි. කෙසේ නමුත් කාලයත් සමග ඇති වූ කාලගුණික හා දේශගුණික වෙනස්වීම්, වගාබිම් අඩුවීම, ජල හිඟය සහ මෑතකදී පොහොර සහනාධරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය හමුවේ එම තත්ත්වය පරිහානිමය වෙනසකට පත්ව ඇතත් කාලීන පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙමින් වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග සම්බන්ධයෙන් හා නව තාක්ෂණයන් සම්බන්ධයෙන් අදටත් වී පර්යේෂණායතනය පරීක්ෂණ සිදු කරමින් සිය මෙහෙවර නිහඬවම ඉටුකරමින් සිටියි. මීට අමතරව ප්‍රාදේශීය වී පර්යේෂණ මධ්‍යස්ථාන වන බෝඹුවල හා වී පර්යේෂණ ස්ථාන වන අම්බලන්තොට, ලබුදූව, බෙන්තොට, සමන්තුරේ, පරන්තන් හා මුරුන්කන් යන ස්ථාන බතලගොඩ වී පර්යේෂණායතනයට අනුබද්ධ කළ අතර ඒ හරහා මුළු දිවයිනේම පිහිටි ගොවිබිම්වල ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය පර්යේෂණ හා සංවර්ධන කටයුතු මෙහෙයවීම අපේක්ෂා කෙරිණි.
වී නිෂ්පාදන හා තාක්ෂණ ප්‍රචාරණය
බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් අභිජනනය කරන වී ප්‍රභේද මෙන්ම සාර්ථක වී වගාවන් සඳහා අවශ්‍ය වන නව තාක්ෂණික දැනුම, වී වගාවේ නියුතුව සිටින ගොවි ජනතාවට ලබාදීම බෙහෙවින් වැදගත් කරුණක් වී තිබේ. එම වගකීම ප්‍රධාන වශයෙන් පැවරී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටයි. එහෙත් අන්තර් පළාත් මහා වාරිමාර්ග ව්‍යාපෘති කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශයට පැවරී ඇත. එබැවින් දිවයිනේ සුළු වාරි යටතේ වී වගා කරන ප්‍රදේශවල හා වර්ෂා පෝෂිත ප්‍රදේශවල ගොවීන්ට තාක්ෂණික දැනුම ලබාදීම සම්පූර්ණයෙන්ම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.
මීට අමතරව මහවැලි අධිකාරිය යටතේ වී වගා කරන ක්ෂේත්රවල ගොවීන් දැනුවත් කිරීම හා තාක්ෂණික තොරතුරු සැපයීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සිදු කරනු ලබයි. බතලගොඩ වී පර්යේෂණායතනය විසින් සොයා ගනු ලබන නව තාක්ෂණයන් හා වී ප්‍රභේද ඉහත ආයතනවල ක්ෂේත්‍ර නිලධාරීන්ට කඩිනමින් ලබා දීමට හා ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණු ප්‍රධාන කොට ගෙන 2009 වසරේදී %වී නිෂ්පාදන හා තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය^ ආරම්භ කරන ලදී. ඒ හරහා නව දැනුම ගොවි ජනතාව අතරට ගෙන යාම අපේක්ෂා කරයි.
ව්‍යාපෘති නිලධාරීන්ට අමතරව පෞද්ගලික අංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල, කෘෂිකර්ම විද්‍යාල සහ පාසල්වල කෘෂි විද්‍යාව හදාරන සිසු සිසුවියන්ට වාර්ෂිකව මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් පුහුණු පාඨමාලා පැවැත්වීම හා වැඩමුළු පැවැත්වීම සිදු කරනු ලබයි. එමෙන්ම දිවයිනේ නන්දෙසින් පැමිණෙන ගොවි ජනතාවට සේවා සපයමින් ගොවීන්ගේ ක්ෂේත්‍ර වෙතද ගොස් පුහුණු කටයුතු සිදුකිරීමේ ක්‍රමවේදයන්ද දැනට සාර්ථකව ක්‍රියාත්මක කරන බතලගොඩ වී පර්යේෂණායතනය රටට බත සැපයීමේ කාර්යයේදී සිදු කරන මෙම නිහඬ මෙහෙවර පැසසිය යුතුය.