මෙරට ජනතාව පරිභෝජනය කරන සහල් සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපයේ සිට වර්තමානය දක්වා විවිධාකාරයේ ආන්දෝලන ඇති වෙමින් පවතී. කෙසේ නමුත් මින් වැඩිම ආන්දෝලනයක් ඇති කරන ලද්දේ සහල්වල ආසනික් සහ කැඩිමියම් අඩංගු වන බවට වන චෝදනාවය. නමුත් ආනයනික සහල්වල 'සෙලෙනියම්' නම් බැර ලෝහය අඩංගු වීම පිළිබඳ කතාබහට ලක්නොවීය. එමෙන්ම අධික මිල ගණන් යටතේ අලෙවි වන පැරණි සහල් ප්‍රභේද පිළිබඳවද ජනතාව අතර දැඩි උනන්දුවක් ඇති කර තිබෙනු දැකගත හැකිය. මේ කාරණා සම්බන්ධයෙන් විග්‍රහයක් ගෙන ඒමට බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) රෝහණ තිලකසිරි මහතා අද සමග මෙසේ එක් විය.
"වර්ෂ 1952 වසරේ බතලගොඩ වී පර්යේෂණායතනය පිහිටුවා වී ප්‍රභේද වැඩි දියුණු කිරීම ආරම්භ කරන්නට පෙර එතෙක් පැවති වී වර්ග අපි පොදුවේ හඳුන්වනවා 'පැරණි වී' නමින්. ඇතැම් පිරිස් මෙම වී ප්‍රභේද දේශීය වී ලෙස හැඳින්වුවත් ඒවා දේශීය වී ලෙස නම් කරන්න හැකියාවක් නැහැ. මොකද මේ පැරණි වී වර්ග බොහෝමයක්ම බුරුමය, ඉන්දියාව, තායිවානය, චීනය, පාකිස්තානය වැනි රටවලින් මෙරටට පැමිණි වී වර්ග වන නිසා. උදාහරණයක් විදිහට පොක්කාලි, මුරුන්ගකායන්, නෝනබොක්රා වැනි පැරණි වී ප්‍රභේද ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ වී ප්‍රභේදයි.
මේ පැරණි වී වර්ගවලින් ලබන්න පුළුවන් අස්වැන්න සීමිතයි. ඒ වගේම මෙම සාම්ප්‍රදායික වී වගා කිරීමෙන් හටගන්නා ගොයම් කඳ ශක්තිමත් නොවීම සහ උසින් වැඩි වීම නිසා පහසුවෙන් ඇද වැටීමට ලක්වීම, පඳුරු ගහනය අඩු වීම, පොහොර සඳහා ප්‍රතිචාර දැක්වීම අඩුවීම, කොළදාව නිසා කෘමි හානි බහුල වීම ආදී හේතු නිසා පැරණි වී වගාවෙන් සහල් ඉල්ලුම සපුරන්න මුල්කාලීනව හැකියාව තිබුණේ නැහැ. ඒ නිසා වී පර්යේෂණායතනය මැදිහත් වෙලා ආනයනික ප්‍රභේදයක් සමග දෙමුහුන් කිරීමෙන් ඉහතින් සඳහන් කරපු සියලු සාධකවලට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද නිෂ්පාදනය කර නැවතත් රට සහලින් ස්වයංපෝෂිත කරන්න හැකියාව ලැබුණා.
කෙසේ නමුත් මේ සමාජය තුළ වර්තමානය වෙද්දි සහල් සම්බන්ධයෙන් දුර්මත ගණනාවක්ම නිර්මාණය වී තිබෙන බව දැකගන්න පුළුවන්. මින් තදබල ලෙස සමාජගත වී ඇති දුර්මතය ලෙස පෙන්වා දිය හැක්කේ පැරණි වී වර්ග ඉතාමත් පෝෂ්‍යදායී බවත්, නව වී වර්ග ශරීරයට අහිතකර සහ පෝෂ්‍ය ගුණයක් නොමැති බව යන්නයි. මම පැහැදිලිවම වගකීමෙන් කියනවා එය සම්පූර්ණයෙන්ම මිථ්‍යා මතයක් බව. සරල උදාහරණයක් පෙන්වා දෙනවා නම් අපි බිත්තරයක් ගත්තොත් බිත්තරයේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ කුකුළු පැටියෙකුගේ උපත. ඒ කුකුළු පැටියා බිහි වෙන තෙක් අවශ්‍ය පෝෂණ කොටස් සියල්ල ඒ බිත්තරය තුළ අඩංගු වෙලා තිබෙනවා. බිත්තර වී ඇටයත් ඒ වගේමයි. වී ඇටය තිබෙන්නේ ඊළඟ ගොයම් ගහ හදන්න. ඒ ගොයම් ගහ හදන තුරු ඊට අවශ්‍ය පෝෂණයත් මේ වී ඇටය තුළ තිබෙනවා. ඊට අවශ්‍ය ශක්තිය සපයන්නේ සහල් ඇටය මැද තිබෙන පිෂ්ඨ කොටස මගින්. එහි වටා නිවුඩ්ඩේ තමයි ප්‍රෝටීන්, විටමින් වර්ග සහ ඛනිජ ලවණ ආදිය සියල්ල අඩංගු වෙන්නේ.
මේ සියලු ගුණාංග පැරණි වී ප්රභේදයන්හි පමණක් නොවෙයි, නව වී ප්රභේදයන්හිත් නොඅඩුව පවතිනවා. වෙනසකට තිබෙන්නේ වර්ග අනුව අඩු වැඩි වශයෙන් ප්‍රමාණාත්මකව මේ ගුණ වීවල පැවතීමයි. පැරණි වී ප්රභේදවල නොමැති පෝෂණ ගුණ අලුත් වී ප්රභේදයන්හි දකින්න ලැබෙනවා. අලුත් වී ප්රභේදයන්හි දකින්න නොලැබෙන සමහර පෝෂක පැරණි වී ප්රභේදයන්හි අඩංගු වෙනවා. එසේත් නැත්නම් සමහර පෝෂක වී ප්‍රභේද දෙවර්ගයේම සමාන වශයෙන් පවතිනවා. මේ කාරණය පිළිබඳ නිසි අවබෝධයක් හෝ දැනුමක් නැති නිසයි ජනතාව සහල් පිළිබඳ මේ නිර්මාණය වී තිබෙන මිථ්‍යා මතවලට රැවටී ඉන්නේ.
රක්තහීනතාවට පිළියමක් ලෙස අතීතයේදී අපේ ජනතාව කළුහීනටි වලින් කැඳ හදලා පානය කළා. මොකද ඒ කාලේ යකඩ කෘත්‍රිමව ලබා ගැනීමට නොහැකිව තිබූ නිසාත් කළුහීනටිවල යකඩ වැඩි වශයෙන් අඩංගු නිසාත්. නමුත් අද වනවිට නව වී ප්රභේදයන්හිත් කළුහීනටිවල වගේම යකඩ අඩංගු වෙනවා. නමුත් අද අපි මොන හාල් වර්ගයක් ආහාරයට ගත්තත් ඒවා ආහාරයට ගන්නේ පොලිෂ් කරලා. ඒ ආකාරයෙන් සහල් පරිභෝජනයට ගනිද්දි කිසිම පෝෂණයක් ශරීරයට ලැබෙන්නේ නැහැ. මොකද, පොලිෂ් කිරීමේදී සහල්වල තිබෙන ගුණයෙන් වැඩි ප්‍රෝටීන්, විටමින් වර්ග සහ ඛනිජ ලවණ සහිත කොටස ඉවත් වෙන නිසා.
අපේ රටේ පරිභෝජනය කිරීමට ඇති සහල්වල ආසනික් සහ කැඩිමියම් අඩංගු වෙනවා කියලා පසුගිය කාලවකවානුව පුරා විශාල ආන්දෝලනයක් ඇති වුණා. මිනිස්සු සහල් පරිභෝජනය කරන්න පවා බය වෙන තත්ත්වයකට පත් වූ බව අපිට දකින්න ලැබුණා. මේ පිළිබඳ අයි.ටී.අයි. ආයතනය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සහල් සහ වී සාම්පල් ලබාගෙන දීර්ඝ වශයෙන් සිදු කරපු පරීක්ෂණ සහ ඒ වාර්තා ඔස්සේ පැහැදිලිවම පෙන්වාදී තිබෙනවා ඒ කිසිදු සාම්පලයක ආසනික් අඩංගු නොවන බව. ඒ අනුව සම්පූර්ණයෙන්ම බොරු ප්‍රචාරයක් තමයි මේ එක්තරා පිරිසක් විසින් සමාජගත කරන්න උත්සාහ කර තිබෙන්නේ. එතනින් පස්සේ වකුගඩු රෝගයට හේතු වෙලා තිබෙන්නේ ආසනික් බව ප්‍රචාරය වීම නිසා ජනාධිපති කාර්ය සාධන බළකායක් පත් කරලා විවිධ ව්‍යාපෘති කරලා අවසානයේදී ග්ලයිෆොසෙට් තහනමක් දක්වා මෙය දුරදිග ගියා. නමුත් මේ වෙනකන් වකුගඩු ප්රශ්නය විසඳී නැහැ.
මේ අසත්‍ය ප්‍රචාර පිටුපස මුදල් අරමුණු කරගත් ව්‍යාපාරිකයන් පිරිසක් සහ දේශපාලනික වාසි ලබාගන්න බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් තමයි සිටින්නේ. අද අපිට වෙළෙඳ පොළේ දක්නට ලැබෙනවා පැරණි වී වගා කරලා ලබා ගත් සහල් පැකට් කරලා අධික මිල ගණන් යටතේ අලෙවි කරන පිරිසක්. ඒ සමහර පිරිස්වලට තමයි මේ අසත්‍ය කටකතා ඇති කරන්න තදබල අවශ්‍යතාවක් පවතින්නේ. ග්ලයිෆොසෙට් පමණක් නොවෙයි ඕනෑම රසායනික වර්ගයක් විෂ සහිතයි. එය විෂ වෙන්නේ නියමිත ප්‍රමාණය ඉක්මවා පාලනයකින් තොරව භාවිත කරන්නට කටයුතු කිරීමෙනුයි. අපි කන ලුණු අරන් බලන්න. ලුණු කියන්නේ 'සෝඩියම් ක්ලෝරයිඩ්' වලට ලුණු අපි ප්‍රමාණය ඉක්මවා භාවිත කරනවා නම් හදවත් රෝග අවදානම තීව්ර වීමට හේතු වෙනවා.
ග්ලයිෆොසේට් රසායනිකය වී වලට අත්‍යවශ්‍ය වන දෙයක් නොවෙයි. ඒ වගේම ප්‍රචාරණය කරන තරම් ග්ලයිෆොසේට් වී වගාවට භාවිත කර නැහැ. මේ රසායනිකය වැඩි වශයෙන් භාවිත වෙන්නේ තේ, පොල්, රබර් වැනි වැවිලි භෝග සඳහා පමණයි. අනෙක් කාරණය තමයි රජරට ප්‍රදේශවල ග්ලයිෆොසේට් රසායනිකය එතරම් භාවිත වූවක් නෙවෙයි. නමුත් ඒ ප්‍රදේශවල තමයි අද වෙද්දි වකුගඩු රෝගය වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. ඒ සඳහා බලපාන භූ විද්‍යාත්මක හේතු ගණනාවක් තිබෙනවා. ඒ වගේම චෝදනා කරන ආකාරයෙන් සහල්වල විෂ රසායන තිබෙනවා නම් එය සමස්ත රටටම බලපෑ යුතුයි එක් ප්‍රදේශයකට පමණක් සීමා නොවී. නමුත් සිදුවෙලා තිබෙන්නේ ගැටලුවට සැබෑ හේතුව සොයා බැලීම පසෙකින් තබලා මේ විෂය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කිහිපදෙනෙකුගේ මිථ්‍යා මත අනුව දේශපාලන බලපෑම් කරමින් කටයුතු කිරීමයි. ඒ වගේම ආනයනික සහල් වල සෙලේනියම් කියලා හඳුන්වන බැරලෝහය වැඩි වශයෙන් අඩංගු වන බව පර්යේෂණ මගින් සනාථ කර තිබියේදීත් ඒ සම්බන්ධයෙන් කවුරුත් කතා කරන්නේ නැහැ.
ඒ වගේම මේ ප්‍රචාර ගෙන ගිය පිරිස පරීක්ෂණ සිදුකර තිබෙන්නේ නිවැරදි විද්‍යාත්මක පදනමක් මත නොවෙයි.
ශ්‍රී ලංකාවේ වීවල කුමක් හෝ ගැටලුවක් පවතිනවා නම් එක් ප්‍රදේශයකින් පමණක් සාම්පලයක් අරගෙන ඒ ප්‍රතිඵලය මත සමස්ත වී වගාව පිළිබඳවම නිගමනයකට එන්න හැකියාවක් නැහැ. වගේම ඒ ක්‍රමය ඉතාමත් වැරදියි. සමහර විට ඒ වී ලබාගත් ක්ෂේත්රයට පමණක් ආවේණික ගැටලුවක් තිබෙන්න පුළුවන්. එසේත් නැත්නම් ඒ කොටසට යෙදූ කෘෂි රසායනවල ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා විද්‍යාත්මක ක්‍රමවේදය අනුව නියැදියක් ගැනීමේදී සමස්තය නියෝජනය වන ආකාරයෙනුයි. අපි ඒ ආකාරයෙන් විද්‍යාත්මක ක්‍රමය යටතේ සිදුකළ පර්යේෂෙවලින් පැහැදිලිවම ඔප්පු කොට තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සහල්වල එවැනි බරපතළ අනතුරුදායක තත්ත්වයක් නොමැති බව. නමුත් අවසානයේදී සිදුවුණේ පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂය විෂ සහල් රට පුරා කියලා මිථ්‍යාවක් පැතිරී යෑමයි. මෙවැනි ප්‍රචාරයන් නිසා සිදුවෙන්නේ සහලින් ස්වයංපෝෂිත වෙලා තිබෙන රටේ ජනතාව නැවත සහල් ප්‍රතික්ෂේප කරලා ඇමෙරිකන් පිටි පරිභෝජනයට ගන්න යොමුවීමයි."