වසර පහක් වැනි කෙටි කාලයක් තුළ දර්ශන වාර 500 කට අධිකව රංග ගත කළ 'බල්ලොත් එක්ක බෑ; වේදිකා නාට්‍ය නිර්මාණය කළ රවීන්ද්‍ර ආරියරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය වන 'චරිතෙ හොරු අරං' මංගල දර්ශනය අද (04දා) සවස 7.00 කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී වේදිකාගත කිරීමට නියමිතව තිබේ. පවතින සමාජ ඛේදවාචක පිළිබඳව 'කොමඩි ඔෆ් ඩාර්ක්නස්^'රංග රීතිය යටතේ නිර්මාණය කොට ඇති 'චරිතෙ හොරු අරං' ප්‍රහසනයේ මංගල දර්ශනයට සමගාමීව මහරගමදී හා කැකිරාවේදී තවත් දර්ශන වාර දෙකක් පැවැත්වීමට නියමිතව තිබේ. මේ එම නාට්‍ය පිළිබඳව එහි අධ්යක්ෂ රවීන්ද්‍ර ආරියරත්න සමග කළ සංවාදයකි.
Q 'චරිතෙ හොරු' අරං ගැන මුලින්ම කතා කළොත්?
'බල්ලොත් එක්ක බෑ' නාට්‍ය කරලා වසර පහකට පස්සෙ තමයි මගේ දෙවැනි නාට්‍ය නිර්මාණය විදිහට 'චරිතෙ හොරු අරං' නිර්මාණය කළේ. මේ වනවිටත් එළඹෙන ජනවාරි වෙනකල් මෙහි නාට්‍ය දර්ශන වෙන් කරගෙන තිබෙනවා.
මේ නාට්‍යයේ තවත් විශේෂයක් වන්නේ මෙහි මංගල දර්ශන ස්ථාන කිහිපයක පැවැත්වීමයි. ඒ අනුව අද (04දා) ලයනල් වෙන්ඩ්ට්, හෙට (05දා) මහරගම මැදි විදුහලේදී ප.ව. 1.30ට හා 6.30ට අනිද්දා (06දා) කැකිරාව නව නගර ශාලාවේදී ප.ව. 2.30ට හා 6.30ට මෙය රඟදැක්වීමට සැලසුම් කර තිබෙනවා.
Q දැන් මේ කාගෙ චරිතෙද හොරු අරගෙන තියෙන්නෙ?
එක්තරා රටක, එක්තරා නගරයක සිදුවන දෙයක් තමයි මීට පාදක වෙන්නෙ. මේ නගරයේ භයානක රෝගයක් ඇති වෙනවා. මේ රෝගය ඇති වෙන්නේ බලය සම්බන්ධවයි. බලයත් එක්ක තමාට තමා අමතක වීමත්, තමාට තමාගේ ප්‍රතිරූපය අමතක වී අන්‍යයන්ගේ රූපයත් අමතක වීම යන කරුණු කරණ කොටගෙන තමයි මේ රෝගය ඇතිවන්නේ.
ප්‍රධාන වශයෙන් මේ රෝගය වැලඳෙන්නේ නගරයේ නගරාධිපතිටයි. මෙහි මූලික රෝග ලක්ෂණ වෙන්නෙ රෝගය වැලඳුණු පුද්ගලයා ඇවිදින්නෙ හීනෙන්. මේත් එක්කම නගර සභාවේ විපක්ෂ නායකයටත් මේ රෝගය වැලඳෙනවා. ඒ තුළ ඇතිවන සිද්ධි දාමයක් ඔස්සේ තමයි මේ නාට්‍ය ගලාගෙන යන්නේ.
අපේ මේ සමාජය ගත්තොත් බලය කියන දේ පාවිච්චි කරන්නෙ අනිසි ආකාරයෙන් හා අයුතු ආකාරයෙන්. ඒක ඉහළ ඉඳන් පහළටම සිදුවෙනවා. බලය නිසා තමාට තමා අමතක වීම භයානක රෝගී තත්ත්වයක්.
Q බලයේ විවිධ ස්වරූප ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට අදහස් කළේ ඇයි?
මේ සමාජය තුළ ජීවත් වනවිට අපි විඳින දේත්, විඳවන දේත් අපේ අභ්‍යන්තරයෙ තැන්පත් වෙනවා. නිර්මාණකරණයේ යෙදෙන මිනිස්සු විදිහට යම් ප්ලොට් එකක් හිතට ආවම ඒකෙ අභ්‍යන්තරයෙන් වැඩිදියුණු වෙනවා. විශේෂයෙන් සමාජයේ ජීවත්වන අප අත්විඳින දේවල් තමයි නිර්මාණවලට රචනා වෙන්නේ. ඒ හරහා තමයි එක්තරා රටක, එක්තරා නගරයක සිදුවන ක්‍රියාදාමයක් ලෙස එය එළිදකින්නෙ.
Q තමාට තමා අමතක වීමේ රෝගයට පිළියමකුත් මේ නාට්‍යයෙන් සාකච්ඡා කෙරෙනවද?
පිළියමත් සාකච්ඡා කෙරෙනවා. බ්‍රෙෂ්ට් එක තැනක කියනවා 'අලුත් ජනතාවක් පත්කරන්න ඕනි කියලා'. අන්න ඒ වගේ මෙතැනදී අපි අපිව සොයාගන්න ඕනි. අපිට ඇත්ත, සත්‍ය දකින්න පුළුවන් නම් මෙවැනි තත්ත්ව ඇතිවෙන්නෙ නැහැ. සමාජය විනිවිද දකින තුන්වැනි ඇහැ ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වෙනවා. අපි මේ නිර්මාණය හරහා උත්සාහ කරන්නෙ සමාජය වසා තිබෙන කඩතුරාව උස්සලා සමාජ යථාර්ථය ප්‍රේක්ෂකයාට පෙන්වීමයි.
Q මේ නාට්‍යයත් ඔබ හඳුන්වන්නෙ ප්‍රහසනයක් විදිහටද?
අපේ සමාජයේ ප්‍රහසනය කියන දේ සම්බන්ධව තියෙන්නෙ වැරදි මතයක්. භාවිත කරන්නෙ වැරදි විදිහට, විචාරක විදග්ධ මතවාදයත් වැරදියි. ප්‍රහසනය කියන්නෙ නරක දෙයක් නෙවෙයි. මෙහිදී පවතින යථාර්ථය තමයි ඉදිරිපත් කෙරෙන්නෙ. එසේ නැතිව දෙපිට කැපෙන වචන කියා කෑගහන එක ප්‍රහසනය නෙවෙයි.
අපේ ජනශ්රැතිය අධ්‍යයනය කළත් ජනකතා, ජන නාට්‍ය, ජන සාහිත්‍ය තුළ උපහාසය, හාස්‍යය, උත්ප්රාසය යන හැමදෙයක්ම තියෙනවා. මේ දේවල්වලින් වියුක්ත වෙලා අපේ ජන සමාජයට නිර්මාණ කරන්න ගියොත් එම නිර්මාණ අසාර්ථක වෙනවා. මම නාට්‍යයක් ලියද්දි මේ ලියන්නෙ ප්‍රහසනයක් කියල හිතලා කොයි වෙලාවෙවත් ලියන්නෙ නැහැ. මගේ ඔළුවට ආපු පොඩි වස්තු බීජය විකාශය වීම තමයි සිදුවෙන්නෙ. ඉන් පස්සෙ තමයි බලන්නෙ මේක මොන විදිහෙ නාට්‍යයක්ද කියා.
'බල්ලොත් එක්ක බෑ' ලියල ඉවර කරලා බැලුවම එහි හොඳ ප්‍රහසන ලක්ෂණ තිබුණා. ඉන් පස්සෙ මම බැලුවා ඒ ප්‍රහසනය මතුවෙන්නෙ කොහොමද කියලා. ඒ ප්‍රහසනය මතුවුණේ 'සැඟවීමෙන් සහ වැරදීමෙන්'. මම නාට්‍ය දැන්වීම්වල යටින් දැම්මා 'සැඟවීමෙන් හා වැරදීමෙන්' මතුවන ප්‍රහසනය කියලා. නාට්‍ය ඉතිහාසයේ කොමඩි වර්ගයක් තිබෙනවා කොමඩි ඔෆ් එරර්ස් (වැරදීමකින් මතුවන ප්‍රහසනය) කියලා. එහි දිගුවක් තමයි සැඟවීමෙන් හා වැරදීමෙන් මතුවන ප්‍රහසනය කියන්නේ.
'චරිතෙ හොරු අරං' නාට්‍ය රචනා කිරීමෙන් පසුව බලද්දී එහි 'බ්ලැක් කොමඩි' ගුණාංග තිබෙන බව දැනුණා. ඉන්පසුව මේ ගැන හොයා යද්දි 1927 දී සිග්මන් ෆ්‍රොයිඩ් ඔහුගේ හියුමර් කියන එසේ එකේ 'ගැලෝ හියුමර්' කියලා එකක් හඳුන්වා දී තිබෙනවා. ඒකෙ තියෙන්නෙ ඉතාම සංකීර්ණ භයානක දරුණු තත්ත්වයන් හාස්‍ය හා උපහාසය මතුවන විදිහට සරල ක්‍රමවේදයක් මගින් ඉදිරිපත් කිරීමයි.
මෙය ක්‍රමිකව විකාශය වෙලා 1936 දී ඇන්ඩෘ බ්රිටෝන් කියන න්‍යායාචාර්යවරයා අධියථාර්ථවාදය මගින් හාස්‍යයේ හා උපහාසයේ උපරීතියක් විදිහට 'බ්ලැක් හියුමර්' ගේනවා. ඒ හරහා තමයි බ්ලැක් කොමඩි උපදින්නේ. 'චරිතෙ හොරු අරං' නාට්‍ය ගත්තොත් ඒකෙ බ්ලැක් කොමඩි ලක්ෂණත්, කොමඩි ඔෆ් එරර්ස් ලක්ෂණත් තියෙනවා.
ඒ වගේම නාට්‍යයේ බොහෝ දර්ශන තිබෙන්නෙ අන්ධකාරයේ. මේ තුළ මෙම අඳුරු ප්රහසනයත්, තිමිර ප්රහසනයත් නිසා ලෙස මෙය 'කොමඩි ඔෆ් ඩාර්ක්නස්' කියලා හඳුන්වනවා. මේක ප්‍රහසනයක් තමයි.
ලංකාවේ ප්‍රහසනය කිව්වම බල්ලට දානවා. ප්‍රහසනය කියන්නෙ එහෙම පහතට දාන දෙයක් නෙවෙයි. දාරියෝ ෆෝ, රේ කූනි ආදී අග්‍රගණ්‍ය නාට්‍යකරුවන්ගේ ප්‍රහසන අධ්‍යයනය කළොත් මේ තත්ත්වය මැනවින් වැටහෙනවා. යම් නාට්‍යයක් කරනවා නම් ඒ ගැන අධ්‍යයනය කරන්න ඕනි. අපේ රටේ බොහෝ දෙනෙක් තුළ එවැනි අධ්‍යයනයක් නැහැ. සල්ලි තියෙන පලියට නාට්‍ය කරන්න හොඳ නැහැ. එය නාට්‍ය කලාවේ පරිහානියක්.
Q කොමඩි ඔෆ් ඩාර්ක්නස් ලංකාවේ මීට පෙර භාවිත වී තිබෙනවාද?
බ්ලැක් කොමඩි ලක්ෂණ සහිත නාට්‍ය තිබිලා තියෙනවා. ඒ ඇරෙන්න බ්ලැක් කොමඩි නාට්‍ය මෙරට නිෂ්පාදනය වී නැහැ. චරිතෙ හොරු අරං නාට්‍යයත් තනිකරම බ්ලැක් කොමඩියක් නෙවෙයි. ඒ ලක්ෂණත් මෙහි තිබෙන අතරම මම විසින් මෙය කොමඩි ඔෆ් ඩාර්ක්නස් ලෙස අලුත් නමකින් හඳුන්වනවා.
Q ඔබේ බල්ලොත් එක්ක බෑ නාට්‍ය සම්බන්ධව මේ වනවිට මතවාද දෙකක් සමාජගත වී තිබෙනවා. එකක් තමයි දර්ශන වාර 500 කට අධික රංගගත වී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවීම. අනික තමයි මෙහි නමේ සිට නාට්‍ය කලාව විනාශ කළාය කියන මතය. ඇත්තටම මෙමගින් සිදුවුණේ නාට්‍ය විනාශයක්ද?
2009 බල්ලොත් එක්ක බෑ පටන් ගද්දි ලංකාවේ නාට්‍ය ප්‍රේක්ෂකාගාරයක් හරියට තිබුණෙ නැහැ. මේ හිස් ප්‍රේක්ෂකාගාරයට තමයි මට බල්ලොත් එක්ක බෑ කරන්න වෙන්නේ. මෙතැනදී බල්ලොත් එක්ක බෑ කියන්නෙ මාර්කටින් වචනයක් නෙමෙයි. සමාජයට කියවන්න පුළුවන් කෙටිම වාක්‍ය කණ්ඩයක්.
මේක කාලීන වශයෙන් කළ යුතු නිර්මාණයක්. මේ නාට්‍යයට මෙරට වගේම විදේශ රටවලත් ඉහළ ප්‍රේක්ෂකාගාරයක් හැදුණා. හැබැයි ඊට පස්සෙ වෙන්න ඕනි අර හැදුණු ප්‍රේක්ෂකාගාරය විනාශ කරගැනීම නෙවෙයි, අර කරපු දේට වඩා යහපත් හා අර්ථවත් දේ කරමින් ප්‍රේක්ෂකාගාරය වර්ධනය කරගැනීමයි. නමුත් එය සිදුවුණේ නැහැ. ඒ වෙනුවට සිදුවුණේ වෙන රැල්ලක් හැදුණු එකයි. ඊට පස්සේ සත්තුන්ගෙ නම් දාගෙන දාගෙන කාලකණ්ණි තත්ත්වයක් ඇතිවීමයි. ඒ අතරෙත් හොඳ නාට්‍ය නොතිබුණා නොවේ. නමුත් බහුතරය ඉතා දුර්වල ගණයේ ඒවායි.071 4413445