ගමෙන් නගරයට පැමිණ තම ඉලක්ක ජයගත් තරුණයෙකු ලෙස අංග රචනා ශිල්පී වාසනා බණ්ඩාර විජේකෝන් හැඳින්විය හැක. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන කටයුතු නිමකරන ඔහු රංගනය සඳහා දැක්වූ ආශක්ත බව නිසාම කොළඹට පැමිණ ඇති අතර, පසුව අංග රචනා ශිල්පියෙකු ලෙස වෘත්තීයමය කටයුතු ආරම්භ කර තිබේ. මේ ඔහු සමග සිදුකළ කතාබහකි.
Q අංශ රචනා ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණ ආකාරය ගැන මුලින්ම කතා කළොත්?
මට කුඩා කාලේ සිටම රංග කලාවට හා ගීත ගායනයට හැකියාව තිබුණා. මම පාසල් කාලෙම නාට්‍ය හා රංග කලාව හැදෑරුවේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තුවෙන්. තරුණ සේවා සභාව තුළ පාසල් මට්ටමෙන්ම වේදිකා නාට්‍යවලටත් දායක වෙන්න හැකියාව ලැබුණා. උසස් පෙළ අවසන් වනවිට උපුල් ශාන්ත සන්නස්ගල සර් නිසා මට කොළඹට එන්න අවස්ථාව හිමි වුණා. උපුල් සර් හරහා ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකවෙමින් ඉන්න කාලෙදී ටවර් හෝල් රඟහල පදනමෙන් දාපු දැන්වීමක් දැකලා අයදුම් කළා. එහිදී මම නාට්‍ය පාසලට තේරී පත්වුණා. එහිදී මට හමු වූ සුවිශේෂී පුද්ගලයෙක් තමයි ඩග්ලස් සිරිවර්ධන කියන්නේ. ඔහුගේ හඳුනාගැනීම සමග විදේශ රටවලට ගිහින් මට මේ ගැන දැනුම ලබන්නත් ඉඩක් ලැබුණා. මම නාට්‍ය පාසලේ අධ්‍යයන කටයුතු කරන කාලෙදී රංගන ක්ෂේත්රයට දායක වී සිටින ශිල්පීන් ඇසුරු කරන්න ඉඩ ලැබුණා. බොහෝ දේවල් ඔවුන්ගෙන් ඉගෙන ගන්න හැකි වුණා. එහිදී උසස් ඩිප්ලෝමාව හදාරලා අවසන් වූ පසු නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය හදාරන්න මම සූදානම් වුණා. ඒ අතර කාලයේ මට විනෝදාංශයක් ලෙස අංග රචනය ඉගෙන ගන්න හිතුණා. එයට මට ආසාව ඇති වුණේ වසන්ත විට්ටච්චි මහතා සහ ජයන්ත රණවක නිසා. ඔවුන් දෙදෙනා සමග දීර්ඝ කාලයක් වැඩ කරමින් සිටින අතරේදී කෙමෙන් කෙමෙන් මම අංග රචනා කලාව තුළ ස්ථාපිත වුණා. මට නිතරම වැඩ ආවා. ඒ හරහා තනියම වැඩ කරන්න හැකි වුණා. ඒ කාර්යබහුල වීම නිසාම විශේෂවේදී උපාධිය හැදෑරීම අහිමි වුණා. මේ වනවිට වසර හතක් අංග රචනා වෘත්තිය තුළ මා නියැළී සිටිනවා.
Q මේ කාල පරාසය තුළ අංග රචනා ශිල්පියෙකු ලෙස දායක වූ නිර්මාණ ගැන කතා කළොත්?
මේ කාල පරාසය තුළ සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් පසුකරන්න මට අවස්ථාව හිමිවුණා. සිවගුරුනාදන්, චාමර සමරවික්‍රම, සද්ධාමංගල සූරිය බණ්ඩාර යන අය එක්ක වසර පහක පමණ කාලයක් නිර්මාණ කරන්න හැකි වුණා. %හාරකෝටිය^, %කළු කුරුල්ලා^,%බොහිමියානුවා^,%හංස පිහාටු^,%මෙඩි සිනා^,%හුළං ගෙදර^ වැනි නිර්මාණ රැසකට මා දායක වුණා. ඒ වගේම චිත්‍රපටත් දෙකකට දායක වුණා. ඉදිරියේදී ඒවා තිරගත වෙයි. සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ ගිය වසරේ විකාශය වූ %බොහිමියානුවා^ නාට්‍යය විශේෂයි. එය රයිගම් ටෙලි සම්මාන උලෙළේ අවසන් වටයට සුදුසුකම් ලැබුවා. එහිදී තේරී පත්වූ නාට්‍ය අතර අංග රචනා අංශයෙන් මගේ ගුරුවරයා සහ මමයි නිර්දේශ වුණේ. ඒ ගැන මට සතුටුයි.
Q අංග රචනා ශිල්පියෙක් ලෙස වෘත්තිය සිදුකිරීම ගැන ඔබේ අදහස කෙබඳුද?
එහි ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. සමස්තයක් ලෙස බැලුවාම ටෙලි නාට්‍ය කලාවම දැවැන්ත පරිහානියකට ලක්වෙලා තිබෙනවා. නිර්මාණකරුවන්ට හොඳ නිර්මාණයක් කරන්න මූල්‍ය දායකත්වය ලැබෙන්නේ නැහැ. නිර්මාණකරුවන් පසෙකට වී සිටිනවා. අංග රචනය ගත්තොත් අද බොහෝ අංග රචනා ශිල්පීන්ට නිර්මාණ ලැබෙන්නේ නැහැ. අංග රචනා ශිල්පීන්ගේ වටිනාකමට මුදල් නොලැබෙන තත්ත්වයක් තමයි දකින්න තිබෙන්නේ. ඒ අතර මට නිර්මාණ ලැබීම ගැන සතුටුයි. සිවගුරුනාදන් මහතා ඇතුළු කණ්ඩායම ගිය වසර තුළ ටෙලි නාට්‍ය දහයක් නාළිකාවල විකාශය කර තිබෙනවා. මේ වනවිට ටෙලි නාට්‍ය හයක් නිර්මාණය කරමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් තුළ මම සතුටු වෙන්නේ මේ වනවිට මගේ යම් ස්ථාපිත වීමක් මේ ක්ෂේත්රය තුළ පැවතීම ගැන. මගේ අදහස තිබෙන්නේ අංග රචනා ශිල්පියෙක් ලෙස කටයුතු කිරීමටයි. මට හිතෙනවා මට මේ තුළ රැඳී සිටීමේ හැකියාව අද වනවිට නිර්මාණය වී තිබෙනවා කියලා. එහිදී සතුටු විය යුතු කාරණයක් තමයි ලංකාවේ අධ්‍යක්ෂකවරු අතළොස්ස අතරින් වැඩිම නිර්මාණ ප්‍රමාණයක් කරන අධ්‍යක්ෂකවරු සමග වැඩකටයුතු කරන්න ලැබීම. ඔවුන් එක්ක මට හිතෙනවා මේ ක්ෂේත්රය තුළ ඉදිරියටත් සාර්ථකව කටයුතු කරන්න හැකියාව තිබෙනවා කියලා.
Q ඔබ කුඩා කාලේ සිට ඇලුම් කළේ රංගන ක්ෂේත්රයට බව සඳහන් කළා?
ඔව්, මම කුඩා කාලේ සිටම ආස කළ රංගන ක්ෂේත්රය තුළ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. සිවගුරුනාදන් මහතා මට යම් යම් අවස්ථා ලබාදී තිබෙනවා. මම අංග රචනා ශිල්පියෙක් ලෙස කටයුතු කරන අතරම රංගනයටත් දායක වෙනවා. රංගනය තුළත් ඉදිරියට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අවසාන වශයෙන් මගේ දෙමවුපියන් හා අයියාත්, මගේ බිරිඳත් මතක් කළ යුතුයි. මගේ බිරිඳ ගුරුවරියක්. ඇයගෙන් මගේ කටයුතු සඳහා ලැබෙන දායකත්වය සුවිශේෂයි. මට නිර්මාණ කටයුතු එක්ක මාස ගණන් නිවසට යන්න ලැබෙන්නේ නැහැ. ඒ හැමදේම ඇය තේරුම් අරගෙන සහයෝගය ලබාදීම ගැන සතුටුයි.