ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳ වගවීමක් පවතින ආයතනයක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. පසුගිය අගෝස්තු 19 වැනිදා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ නියමුවා බීමතින් සිටි බවට අනාවරණය වීමත්, ඒ හේතුවෙන් ගුවන් ගමන පැය 15ක කාලයක් ප්රමාදවීමත් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊයේ (25දා) මෙම අදහස් පළ කළේය.
විශේෂයෙන්ම තමන් මෙම අවස්ථාවේදී කටයුතු කළ ආකාරය නිවැරදි බවත්, මගීන්, රට සහ සිය සමාගමේ හවුල්කරුවන්ගේ පාර්ශ්වයන්ගේ පැත්තෙන් සලකා ආරක්ෂාව උපරිමව සැලසෙන ආකාරයට ගත් මෙම තීරණය පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. එසේම සිය ආරක්ෂක කළමනාකාර පද්ධතිය (SMS) සහ කාර්ය මණ්ඩල සම්පත් කළමනාකරණය (CRA) යන අංශ තුළ පවතින සාර්ථකත්වය මින් මනාව පිළිබිඹු වන බවද ඔවුන් සඳහන් කළේය.
ඒ අනුව, පසුගිය සතියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නමට කලු පැල්ලමක් එක් කරමින් හටගත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වඩාත් විවෘත මනසින් බලා තීරණයක් ගන්නා ලෙසත් ඔවුන් රටෙහි මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අලෙවි අංශ සාමාන්‍යාධිකාරී සන්දේශ් පෙරේරාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාර නියමු කපිතාන් රංග අමදෝරු හා රේඛීය නියමු කපිතාන් බන්දු කුඹලතාර සහ එම සමාගමේ මාධ්‍ය සංවර්ධන කළමනාකාර දීපාල් පෙරේරා යන මහත්වරුන්ද සහභාගි වී සිටියහ.
අගෝස්තු 19 වැනි සිකුරාදා ජර්මනියේ වේලාවෙන් පස්වරු 1.20 ට ෆ්රැන්ක්ෆ්ර්ට් ගුවන් තොටුපොළන් පිටත්වීමට නියමිතව තිබූ අදාළ ශ්‍රී ලංකන් ගුවන් යානය ඉන් අනතුරුව පැය 15ක ප්‍රමාදයකින් පසුව පසුදින අලුයම 4.20ට ගුවන් ගත වී තිබේ. ඒ අනුව 20 වැනිදා පස්වරු 7.20 පමණ වනවිට යානය කොළඹට පැමිණ ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් පළමුව යානයේ මගීන්ගෙන් සමාව ඉල්ලූ බවත්, අනතුරුව ඉරිදා දිනය වන විට මෙම සිදුවීම මාධ්‍ය වෙත දැනුම් දුන් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. ඒ අනුව කිසිලෙසකින්වත් අදාළ සිද්ධිය යට ගැසීමේ අරමුණක් තමන්ට නොවූ බවද ඔවුන් මෙහිදී අවධාරණය කළේය.
මේ අතරම මත්පැන් පිළිබඳ පරීක්ෂාවට මුහුණ දී එය ස්ථිරව වූ අදාළ ගුවන් නියමුවාගේ ගුවන් නියමු බලපත්‍රය සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මේ වනවිටත් තහනමට ලක් කර ඇතැයිද මෙහිදී සඳහන් කෙරිණි. එසේම ඔහු පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු සිදු වෙනු ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.
මීට අමතරව අදාළ සිදුවීම නිසා පැය 15ක කාලයක් සිය ගුවන් ගමන පමාවූ මගීන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. ඒ අනුව ඔවුන්ට හිමිවිය යුතු අදාළ වන්දිමුදලට සරිලන ලෙස මුදලින් හෝ වෙනත් ගමනාන්තයක් වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානයක ටිකට් පතක් ලබාදීමත් හෝ සිදු කිරීමට කටයුතු යොදන බවද එම සමාගම පවසයි. ඒ සඳහා ගුවන් මගීන් තම ගුවන් ටිකට් පතට අදාළ විස්තර Customer@SriLankan.com ඊමේල් ලිපිනයට එවිය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.