ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ධීවර ව්‍යාපාර ආරම්භ කිරීමේ යෝජනාවක් ලබන මාර්තු මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු-ලංකා ධීවර සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමට සූදානම් බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.
ඉන්දීය සාගරයේ ධීවර සම්පතින් 48% ක්ම භුක්ති විඳින්නේ යුරෝපා රටවලින් පැමිණෙන ධීවරයන් බවත්, එය අඩු කිරීම සිය යෝජනාවේ අරමුණ බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බී.බී.සී.යට පවසා තිබේ.
"යුරෝපයට යන 48% ක් මාළුවලට සත පහකවත් මුදලක් ඒ ඉන්දීය සාගරයේ රටවල්වලට හරි ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ" අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම යුරෝපා ධීවරයින්ට මෙන් විශාල ධීවර නෞකා සහ වෙනත් අවශ්‍ය තාක්ෂණය තවමත් දෙරට ධීවරයන් සතුව නොමැති බැවින් යුරෝපා ධීවරයන් මසුන් අල්ලන ස්ථාන ධීවර කර්මාන්තයේ යෙදී එම මත්ස්‍යයන් යුරෝපා ධීවරයන්ට විකිණීම තමන්ගේ යෝජනාව බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
අදාළ යෝජනාව යටතේ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයන්ටත්, ඉන්දීය මුහුදු තීරයේදී ශ්‍රී ලංකා ධීවරයන්ටත් සිය රැකියාවේ නිරතවීමේදී මතු වන ගැටලුවලට දෙරටටම වාසිදායක ආකාරයේ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවට ඇමතිවරයා විශ්වාසය පළ කර ඇත.
එක්වරම ගැඹුරු මුහුදට යා නොහැකි වීම ඉන්දියානු ධීවරයන් මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් බව පවසන අමාත්‍යවරයා, මීළඟ ඉන්දු-ලංකා ධීවර සාකච්ඡාවේදී ඉන්දීය ධීවරයන් එම ගැටලුව ඉදිරිපත් කළහොත් එයට විසඳුම් වශයෙන් තමන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් බවද බී.බී.සී.යට පවසා තිබේ.
කෙසේ නමුත් ඉන්දීය ධීවරයන්ගේ ඉවක් බවක් නොමැතිව මසුන් අල්ලන බොටම් ට්‍රෝලින් පන්න ක්‍රමය තහනම් කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.