ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඕමාන් රාජ්‍යයේ ඕමාන් එයාර් ගුවන් සමාගම සමග නව සංකේත හුවමාරු ගිවිසුමක් (Codeshare Agreement) සඳහා අත්සන් කර තිබේ.
මෙම නව ගිවිසුම හරහා ගුවන් සමාගම් දෙකෙහිම ගුවන් සංචාරයේ නිරත වන මගීන්ට පහසුකම් හා සේවා රැසක් අත්විඳීමට අවස්ථාව උදාවනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
එහිදී මෙම ගිවිසුම අනුව ඕමාන් ගුවන් සමාගමේ මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මස්කට් සිට සිංගප්පූරුවටත්, මාලදිවයිනටත්, කොළඹ හරහා චීනයටත් යාමට පහසුකම් සැලසෙනු ඇති බව කියැවෙයි. එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාරිභෝගිකයන්ට ඕමාන් එයාර් ගුවන් යානා මගින් කොළඹ සිට යුරෝපයේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන ස්විට්සර්ලන්තයේ සූරික් වෙත මස්කට් හරහා ගමන් කිරීමේ පහසුකම්ද සැලසෙනු ඇති බව පැවසෙයි.