මේ වනවිට පවතින පොහොර හිඟයෙන් මෙරට වැවිලි ක්ෂේත්රයට අනර්ථකාරී බලපෑමක් ඇති විය හැකි බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දී තිබේ.
වී සහ ප්රධාන වැවිලිභෝග සඳහා රජය මගින් ලබාදෙන පොහොර සහනාධාරය ලබා දුන්නද පොහොර ආනයනය සහ බෙදාහැරීම සිදුවන්නේ වෙනත් පාර්ශ්වයක් මගින් බවත්, පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ රජය මගින් තීරණය කර ඇති සහන මිලට පොහොර අලෙවිකරන පෞද්ගලික අංශය හිඟ මුදල රජයෙන් අයකර ගන්නා බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් රජයේ හිඟ මුදල් ගෙවීමේ ක්රියාවලිය ඉතාම ප්රමාදකාරී වීම මෙම කටයුත්තේ නියැලී සිටින ආනයනකරුවන් අධෛර්යමත් කරවන්නක් බවද ඔවුන් පවසයි. එහිදී, රජය සහනාධාර ලබාදීම සඳහා සිදුකරන අධික වැය බර ක්රමිකව ඉහළ නගිමින් පවතින තත්ත්වයක් තුළ රජය සිදු කරන ගෙවීම් හැකිතාක් අවම කරගැනීමට උත්සාහ දැරීම මගින් පොහොර ගෙන්වීමට බාධා පැමිණිම මෙම තත්ත්වය තවත් තීව්ර කිරීමට හේතු වී ඇති බවද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව, පොහොර හිඟයට ගත හැකි පිළියම් සඳහා එක්වන මෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටී.