බලයේ සිටින කවර ආණ්ඩුවක් වුවත් අපනයනය වැඩි කිරීමට ආධාර කිරීමට ඉතා වැදගත් තීරණයක් ගත යුතුව ඇති බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා රත්න විද්‍යාඥයන්ගේ සංගමය විසින් පසුගිය 18 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සංවිධානය කරනු ලැබූ 'Jewels 2015' ප්‍රදර්ශනය හා තරගාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අප ඉදිරියේ ඇති විශාලම ප්රශ්නය නම් අප මේ දිනවල අයවැය විවාදයේදී සාකච්ඡා කළ විදියට අප විසින් ප්‍රමාණවත් තරමින් අපනයන නොකිරීමයි. දැනට අවුරුදු 10කට පෙර අපනයන කළ ප්‍රමාණය සමග වර්තමාන අපනයන සන්සන්ධනය කරන විට අපේ අපනයන පසුබැස ඇති බව අපට පෙනෙනවා. ඒ නිසා බලයේ සිටින ක
වර ආණ්ඩුවක් වුණත් අපනයන වැඩි කිරීමට ආධාර කිරීම සඳහා ඉතා වැදගත් තීරණයක් ගෙන එසේ කළ යුතුයි.
ඇඟලුම් කර්මාන්තයෙන්ද, තේ නිෂ්පාදන අංශයෙන්ද, වෙනත් කෘෂිකාර්මික අපනයනවලින්ද රටට ධනය සපයනවා. නමුත් මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්රය මගින් තව විශාල දායකත්වයක් ලබාදිය හැකියි. අද ලෝකයේ මධ්‍යම පන්තිය නැගී එනවා. අතේ මුදල් ඇති තැනැත්තෝ ආසියාකරයේ රටවල බිහිවෙනවා. ආසියාකරයේ පමණක් නොව, බටහිරද තත්ත්වය මෙයයි. ඒ නිසා අනාගත වෙළෙඳ පොළ ඉදිරියේ තිබෙන විසඳිය යුතු ප්රශ්නය නම් මේ තත්ත්වයට අප මුහුණ දෙන්නේ කවරාකාරයෙන්ද යන්නයි. සියවස් ගණනාවක් තිස්සේ රත්න දීපය ලෙස විරුදාවලිය ලැබූ මේ රටට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මගින් විශාල ආදායමක් ලබාගන්නේ කෙසේද යන්න අප මුහුණදී ඇති ප්රශ්නයයි. එහිදී ඔබේ භූමිකාව වැදගත් වෙනවා. ඒ නිසා රජය ඔබව ධෛර්යමත් කළ යුතුයි. ඔබේ ඉල්ලීම් කවරක් වුවත් අප ඔබව ධෛර්යමත් කරනවා. ඔබ ඉල්ලන්නේ කවර දෙයක් වුවත් අපි ඒ දෙස සාවධාන බලා සිටිනවා." යැයි පවසා සිටියේය.