ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල ඉහළ දැමීම තවමත් තීරණය කර නොමැති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යාංශය අද (05දා) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මේ බව දැක්වෙයි.
එසේම ඉන්දීය තෙල් සමාගම තෙල් මිල ඉහළ දැමීමට තමාගෙන් ඉල්ලා සිටි බවත් දැනට තෙල් මිල ඉහළ නොදමන ලෙසට පැවැසූ බවත් රණතුංග මහතා සඳහන් කළේය.
“තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි.ඕ.සී සමාගම මුදල් අමාත්‍යාංශයත් එක්කත් මා එක්කත් සාකච්ඡා කළා. නමුත් මම කිව්වේ දැනට තෙල් මිල වැඩි කරන්න එපා කියලා. ඒක රජයේ ඉල්ලීමක්. නමුත් අයි.ඕ.සී එක තෙල් මිල වැඩි කළොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෙස අපි පාඩු ලබාගෙන තෙල් සපයන්න ඉදිරිපත් වෙන්න ඕන.
මම හිතනවා මේ වෙලාවේ තෙල් මිල වැඩි කිරීමට අවශ්‍ය වුණත් ජනතාව පැටවෙන බර ගැන හිතලා එහෙම කළ යුතු නැහැ. නමුත් රජය තීරණය කළොත් අපිත් වැඩි කරන්න ඕන කියලා අපිටත් ඒකට එකග වෙන්න වෙනවා.
කෙසේ නමුත් තෙල්මිල වැඩි වුණාම එය සියලු අංශයන්ට බලපානවා. එයින් තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒගැන තමයි මම හුඟක් දුරට බලන්නේ. ඒ නිසා දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කිරීමට තීරණයක් අරගෙන නැහැ.
ලංකා අයි.ඕ.සී සමාගමට අවශ්‍යනම් තෙල් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් රජයක් හැටියට අපිටත් ඒ වෙලාවට තීරණ ගන්න වෙනවා. විශේෂයෙන්ම ඒ ගොල්ලන්ට ඕන ඕන දේවල් මේ රටට ඇවිල්ලා කරනවා නම් ඒක කිරීමේ වරදක් තියෙනවා. ඒකට ආණ්ඩුවක් තියෙනවා. මං හිතන්නේ ආණ්ඩුව ඒකට තීරණය ලබා දිය යුතුයි.
සමහර විට තම සමාගම අලාභ ලබන විට මෙහි සිටින නිලධාරීන් ඉන්දියාවේ මව් සමාගමට වගකියන්න ඕන. ඒක ප්‍රශ්නයක් විය හැකියි. නමුත් ඕන ඕන විදියට තෙල් මිල වැඩි කරන්න බැහැ. අපි තීරණයක් ගත යුතුයි ඉදිරියට මේ ව්‍යාපාරය කොහොමද කරන්නේ කියලා. මං හිතන්නේ ඒ සඳහා මිල සූත්‍රයක් අනිවාර්යයෙන්ම කොයි කාලේ හරි ඉක්මනට එන්න ඕන.
ඒ කියන්නේ ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වනවිට අපේ මිල වැඩි වෙන්න ඕන. ලෝක වෙළෙඳ පොළේ මිල අඩු වෙනකොට අපේ මිල අඩු වෙන්න ඕන. මිල සූත්‍රය හඳුන්වා දීමට මීට පෙර කැබිනට් මණ්ඩලයේදීත් සාකච්ඡා වුණා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.
දැනුත් අපි භූමිතෙල්වල ලොකු පාඩුවක් ලබනවා. ඩීසල්වලත් සෑහෙන්න පාඩුවයි. එහෙම දිගටම යනවද එහෙම නැත්තම් පාඩුව අඩු කරගන්න කටයුතු කරනවාද කියලා අපි සලකා බලන්න ඕන.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.