ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ගේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක මුරකරු සහ එහි සිටි සුනඛයෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී අද ( 23 ) දා සොයා ගත් බව තලංගම පොලීසිය පවසයි .
මෙසේ මිය ගොස් ඇත්තේ කළුතර කටුකුරුන්ද ගාලු පාරේ පදිංචි හන්දදුරගේ ජයසේන (70) නමැති අවිවාහකයකු බව පොලීසිය පවසයි.
මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා 22 දා රාත්‍රී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකට සහභාගි වී තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි කුලී නිවසට යාම සඳහා එහි මුරකරුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇතැයි පැවසේ .
එහෙත් ඊට මුරකරු ප්‍රතිචාර නොදැක්වීම නිසා යාබද නිවසක හිතවතෙකුට දුරකථන ඇමතුමක් දී තමන් නිවසට පැමිණෙන බව දන්වන ලෙසට පවසා ඇතැයි පැවසේ.
ඒ අනුව එම නිවසේ කාන්තාවක් පණිවිඩය ලබා දීම සඳහා අදාළ නිවසට ගොස් ඇතත් මුරකරු නිවස තුළින් ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇය නිවස තුළට ගොස් පරීක්ෂා කිරීමේ දී සාලය මැද නිවසේ සුනඛයා මැරී සිටිනු දැකීමත් නිවස තුළින් අධික දුර්ගන්ධයක් හැමීමත් නිසා සැක සිතී යාබද නිවසක ආරක්ෂක නියාමකයෙකුට දන්වා ඔහු සමග නිවසට ගොස් පරික්ෂා කර ඇතැයි පැවසේ.
ඒ අනුව සාලය මැද නිවසේ සුනඛයා ද ,යාබද කාමරයේ ඇඳක් මත මුරකරු ද මියගොස් සිටිනු දැක ඇතැයි පොලීසිය පවසයි.
පසුව මේ පිළිබඳව තලංගම පොලීසිය දැනුවත් කිරීමත් සමග එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතා ඇතුළු නිලධාරීන් මෙම නිවසට පැමිණ නිවසේ කාමරයක උඩුබැලි අතට දින කිහිපයකට පෙර මිය ගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සහ නිවසේ සාලය මැද මියගොස් සිටි සුනඛයකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි .
ඒ අනුව නුගේගොඩ කොට්ඨාසය අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කළ අතර සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට ද නියමිතව තිබුණි.
සිද්ධිය පිළිබඳව තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.