IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙකු සඳහා අවශ්‍ය රුධිර ප්ලාස්මා ලබා දීම වෙනුවෙන්, මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වන සංචාරක මගපෙන්වන්නා පෙරේදා (26) කළුබෝවිල රෝහල වෙත පැමිණ තිබේ.
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වන රෝගීන් දෙදෙනාගෙන්, වඩාත්ම අසාධ්‍ය රෝගියා වෙනුවෙන් රුධිර ප්ලාස්මා ලබා දීමට අවශ්‍ය බැවින්, එම රෝගියා සුව කිරීම වෙනුවෙන් සුව වී නිවසට ගිය රෝගියාගෙන් රුධිර ප්ලාස්මා වෙන් කර දෙන ලෙසට එම රෝගීයාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මෙම කටයුතු සූදානම් කළ බව ජාතික රුධිර පාරිවිලන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා 'අද' කළ විමසීමක දී සඳහන් කළේය.
මෙම ප්රතිකර්මය කෝවිඩ් 19 වසංගතය සමඟ චීනයේ සිදු කර ඇති අතර, කෝවිඩ් 19 තත්ත්වය නව තත්ත්වයක් බැවින් ලංකාවේ මුල්වරට මෙය සිදු කිරීම පිළිබඳ සාකච්ඡා කළ බවත්, ඉන්පසු කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍යවරියගේ හා ළමා රෝහලේ රුධිර පාරිවිලනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියන් දෙදෙනා ප්ලාස්මා වෙන් කර දීමට එකඟතාවය පළ කළ බවත්, ඒ අනුව ඉතාම ආරක්ෂිතව රුධිර පාරිවිලන උපකරණ මඟින්, ආරක්ෂිතව අවශ්‍ය රුධිර ප්ලාස්මා ප්‍රමාණය වෙන් කර ගත් බව ද එදිරිසිංහ මහතා කියා සිටියේය.
කළුබෝවිල රෝහලේ අධ්යක්ෂවරයා ද එම කටයුතු ආරක්ෂිතව සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර දුන් බවද කියා සිටියේය. IDH රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් මෙහි පූර්ණ වගකීම භාරගනිමින්, වෛරසය වැළදී සිට සුව වූ පුද්ගලයාගේ එකඟතාවය මත ඔහු රෝහලට කැඳවා ගෙන ඒම තෙක්ම සියලු කටයුතු IDH රෝහලෙන් සිදු කළ බව ද ප්‍රකාශ කළේය. ඔහු පිළිබඳ ඉන්පසුවද සොයා බැලූ බවත්, ඔහු සුවෙන් පසුවන බව වාර්තා වන බවත් හෙතෙම පැවසීය.