තනතුරු වරදාන වරප්‍රසාද ප්රතිලාභ පැත්තකට දමා විශ්වාසභංග යෝජනාවේදී කොන්ද කෙළින් තබාගෙන එයට පක්ෂව ඡන්දය ලබා දුන් බවත්, තනතුරු අත්හැරීමට ඕනෑම විටක සූදානම් බවත් නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
අම්බලන්වත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේ. මන්ත්‍රීවරුන් වෙන්න කැමතියි කියන එක අපේ පක්ෂයේ නායකයාට වාචිකව හා ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ශ්‍රි.ල.නි.පක්ෂයේ ඇමතිවරුන් පිළිබඳ තීන්දු කරන්න පුළුවන් අපේ පක්ෂයේ නායකයා වන ජනාධිපතිතුමාට. අපි ශ්‍රි.ල.නි.පක්ෂය හැටියට තීන්දුවක් ගත්තා මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂ විය යුතුයි කියලා. ඒ අනුව අපි කටයුතු කළා.අපි දන්නවා ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා.
මහින්ද රාජපක්ෂ මහත්තයාට අපි සහයෝගය ලබාදුන්නේ පක්ෂයේ අපේක්ෂකයා හැටියට. අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා නිසා තමයි අපි පක්ෂයේ ඉන්නේ. අපි තනි තනි තීන්දු ගන්නේ නැහැ.ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත් ශ්‍රී.ල.නි.පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට තමයි කටයුතු කරන්නේ.
ශ්‍රී.ල.නි පක්ෂය දෙකඩ කැඩිලා නැහැ. ශ්‍රී.ල.නි.පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු මේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීලා නැහැ. අගමැතිතුමාට සහයෝගය දීලා නැහැ. අපි 16 දෙනෙකු කොන්ද කෙළින් තියාගෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. තවත් පිරිසක් විපක්ෂයි කියන්න ගියේ නැහැ. පැත්තකට වෙලා නිහඬ විරෝධතාවයක් පෙන්වුවා.”
ගාල්ල - ජිනේෂ් නානායක්කාර