ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මතයි.
ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග අද (22) පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනිණි.
1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත සංශෝධනය කිරීම සදහා වූ මෙම පනත් කෙටුම්පත මගින් පනතේ තුන්වන වගන්තිය සංශෝධනය කර ඇත. එමගින් රූපවාහිනී සංස්ථාවේ සංයුතිය (අධ්යක්ෂ මණ්ඩල සංයුතිය) වෙනස් කිරීම සිදුවේ.
ඒ අනුව සංස්ථාවේ සාමාජිකයන් සංඛ්‍යාව (අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්) හතේ (07) සිට නවය (09) දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
එහිදී අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහු විසින් නම්කරන තම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට අඩු නොවන තනතුරක එක් නිලධාරියෙක් සංස්ථාවේ සාමාජිකයෙකු ලෙස නිල බලයෙන් පත් කිරීමට යෝජනා කර ඇත.
තවද මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් එම අමාත්‍යාංශයේ නියෝජිතයෙකු, සංස්ථාවේ සාමාජිකයෙක් ලෙස නම් කිරීමට යෝජනා කර ඇත.
එම විශේෂ වෙනස්කම් දෙක සිදු කිරීමට යෝජනා කර ඇති අතර අනෙකුත් සාමාජිකයන් පෙර පැවති පරිදි නම් කිරීමට හැකියාව ඇත.
පනත් කෙටුම්පතට අදාළ සබැදිය පහත දැක්වේ.
http://documents.gov.lk/files/bill/2022/8/241-2022_S.pdf
මේ අතර 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ 2283/05 අංක දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝගය සදහාද පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය. 2018 වසරේ ජූලි 3 වැනි දින අංක 2078/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත සිවිල් ගුවන් සේවා ( සේවක පිරිස් සහ පුහුණු කිරීමේ ආයතන සදහා බලපත්‍ර නිකුත් කිරීමේ) නියෝගයන් හි මුද්‍රණ දෝෂයක් නිවැරදි කිරීම මෙහි අරමුණයි.
මෙම ගැසට් පත්‍රයට අදාළ සබැදිය පහත දැක්වේ
http://documents.gov.lk/files/egz/2022/6/2283-05_S.pdf
අද පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වූ අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්විය. අනතුරු ස්ථාවර නියෝග 27(2) යටතේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සදහා අත්‍යවශ්‍ය වන විකිරණ උපකරණවල හිගය හා නඩත්තු ගැටලු නිසා රෝගී ජීවිතවලට මුහුණදීමට සිදුව ඇති අවදානම පිළිබද අවධානය යොමු කරන ලදී.
අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 12.30 දක්වා ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනිණි.
ප.ව. 01.00 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ විවාදයට ගැනීම සිදුවූ අතර විවාදය තවත් දිනකට කල් තැබීම සිදු විය.
ඉන්පසු ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්කර තිබිණි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී මංජු ලලිත් වර්ණකුමාර මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
ප.ව 4.50 සිට ප.ව 5.30 දක්වා එස් ශ්‍රීදරන් මහතා විසින් ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම් කෝවිලේ පාර්ශුද්ධත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගෙනආ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්විණි. අනතුරුව පාර්ලිමේන්තුව හෙට (23) පෙ.ව 9.30 දක්වා කල්තැබිණි.