2022 - හතර වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියට (Calinary World Cup - 2022 ) ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්රී ලාංකික සූපවේදීන් එකොළොස් දෙනෙකු රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
සෑම වසර හතරකටම වරක් පවත්වන මෙම තරගාවලිය මෙවර රටවල් 55 ක් නියෝජනය කරන සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් ලක්සම්බර්ග් හිදී ඉකුත් 11/19 දින සිට 11/30 දක්වා පවත්වා තිබුණි.
මෙම තරගාවලිය තුළ උණුසුම් ආහාර සැකසීම ( Hot Cooking ) සහ ප්රේස්ට්රි (Pestri ) යන අංශ වල ආහාර පිළියෙල කිරීමේ ඉසව් වලදී වැඩි දක්ෂතා පෙන්නුම් කළ බව මෙම ශ්රී ලාංකික සූපවේදී කණ්ඩායමේ නායක දිමුතු කුමාරසිංහ මහතා ගුවන් තොටුපළේ දී පැවසීය.
එසේම මෙම ජයග්රහණයන් ලෝකයේ සංචාරකයන්ගේ අවධානය ශ්රී ලංකාව වෙත දිනා ගැනීමට හේතු වන බැවින් මෙම ජයග්රහණයන් අනාගතයේ ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට බෙහෙවින් උපකාර වන බව ද දිමුතු කුමාරසිංහ මහතා පැවසීය .
මෙම තරගාවලිය නියෝජනය කිරීම සදහා සහභාගී වූ ශ්රී ලාංකික සූපවේදීන් අතර එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය නියෝජනය කරන සූපවේදීන් 07 දෙනෙකු , ෂැංග්රිල්ලා හෝටලය නියෝජනය කරන සූපවේදීන් තිදෙනකු සහ බාරෝස් හෝටලය නියෝජනය කරන එක් සූපවේදියෙකු ද සහභාගී වී සිටියහ .
මෙම ජයග්රාහී ශ්රී ලාංකික සූපවේදීන් පිරිස 12/03 දින අලුයම 06.10 ට ජර්මනියේ ෆ්රෑන්ක්පර්ට් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම සූපවේදීන් පිළිගැනීම සදහා එම හෝටල් නියෝජනය කරන උසස් නිලධාරීන් පිරිසක් සහ එම සූපවේදීන්ගේ බිරින්දෑවරුන් සහ දුවා දරුවන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .