රට තුල ඛණිජ තෙල් අර්බුදයක් මතු වන බවට කතිකාවතක් තිබෙන බවත් කොපමණ කාලයකට තෙල් සංචිත මෙරට තුල තිබෙනවාද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂායෙන් අද (22දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
රට තුළ වර්තමානයේ දැවිතෙල් මෙට්‍රික් ටොන් 79,000ක් තිබෙන බවත් ඒ අනුව රටේ පවතින විදේශ විනිමය අර්බුදයත් සමග පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් ගෙන්වීමට කටයුතු කරන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
මේ අතර සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම හරහා ලාභයක් ලැබෙන බවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශයක් කළ බවත් එය බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රකාශ වලට පරස්පර බවත් එහිදී හේෂා විතානගේ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොරතෙල් පිරිපහදුව කිරීමෙන් මෙරටට අවාසි සිදු වනවා නම් පිරිපහදුව තාවකාලිකව නොව සදාකාලිකවම වසා දැමිය යුතු වන බවත් රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා එම ප්‍රකාශය අනවබෝධයෙන් සිදු කර ඇති බවත් එහිදී අදහස් පළ කරමින් බලශක්ති අමාත්‍යවරයා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ - අපි දැක්කා ඊයේ ඔබතුමාගේ අමාත්‍යාංශය පිළිබඳ ප්‍රකාශයක් කරනවා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් වන රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා. එතුමා මෙරට තෙල් අර්බුදය ගැන අමුතුම විග්‍රහයක් කළා. ඔබතුමාගේ විග්‍රහට පරස් පරයි. එතුමා කියනවා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම හරහා රටට ලාභයක් එනවා වගේ තමයි එතුමා පෙන්වන්නේ.
අපිට ඊට වැඩිය ලාභයි පිරිපහදු කළ නිමි තෙල් ආනයනය කිරීම හරහා. මේක තේරෙන්නේ නැත්තේ හරක්ට කියලා කියනවා. මේ රටේ තෙල් පිළිබඳ අර්බුදයක් මතුවෙනවා කියන මහා කතිකාවක් තිබෙනවා. ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා මේ වන විට තිබෙන සංචිත කොපමණ කාලයකට තිබෙනවාද? නිමිතෙල් නැව් මේ රටට පැමිණිම ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවාද? මේ රටේ කුමන හෝ ආකාරයකින් තෙල් හිගයක් තෙල් හිගයක් නොවෙනවා කියන කාලසීමාවක් සහතික කරන්න පුලුවන්ද?
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල - රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා අනවබෝදයකින් මේ ප්‍රකාශය කරන්න ඇති. මොකද බොරතෙල් පිරිපහදු කරලා මේ රටේ තෙල් නිපදවා ගැනීම අවාසියි නම් අපේ තෙල් පිරිපහදුව තාවකාලිකව නෙවෙයි වසා දැමිය යුත්තේ සදාකාලිකවම.
අපි කිව්වේ මේ මොහොතේ සීමිත විදේශ විනිමය කළමණාකරණය කිරීමේ දී අපේ රටට බොරතෙල් ගෙනත් පිරිපහදු කරනවාට වඩා ඍජුවම පෙට්‍රල් සහ ඩීසල් මිලදී ගැනීම සීමිත විදේශ විනිමය කළමනාකරණය කිරීම වාසියි. විදුලිබල මණ්ඩලය දැනම් දීලා තිබෙනවා තවදුරටත් ඔබේ දැවිතෙල් අවශ්‍ය වන්නේ නෑ. ජල විදුලියෙන් තමයි 50%ක් ඉක්මවලා නිපදවන්නේ. 15 වැනිදා අපි පිරිපහදුව වහන විටත් පිරිපහදුවේ මෙට්‍රික් ටොන් 13,500ක් තිබුනා දැවිතෙල්. සියලුම ගබඩා වල මෙට්‍රික් ටොන් 79,000ක් දැවිතෙල් තිබෙනවා. අපේ රටේ විදේශ විනිමය අර්බුදයක් තිබෙනවා.