මංකොල්ල කෑමේ සිද්ධියකට ආධාර අනුබල දෙන ලදැයි සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටි මීගමුව හිටපු නගරාධිපති රොයිස් ප්රනාන්දු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය.
රුපියල් ලක්ෂ පහක් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත රොයිස් ප්රනාන්දු මහතා මුදා හැරීමට නියම කළ අභියාචනාධිකරණය ඇප කොන්දේසි උල්ලංඝණය කළහොත් ඇප අවලංගු කොට යළි රිමාන්ඞ් බාරයට පත් කිරීමටද අධිකරණය වැඩිදුරටත් නියම කළේය.
රොයිස් ප්රනාන්දු මහතාට ඇප ලබා දීම ප්රතික්ෂේප කරමින් මීගමුව මහාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කොට ඔහුට ඇප නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා රොයිස් ප්රනාන්දු ගොනු කළ ප්රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතීපතිවරයා නම් කොට ඇත.
මෙම පෙත්සම සළකා බැලූ කුමුදිනී වික්රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
සුරාජ් නිශාන්ත නැමැත්තෙකු හා ඔහුගේ චීන ජාතික පෙම්වතිය වූ යාන් පෙන්නි නමැත්තිය කටාන ඉසුරු උයන ප්රදේශයේදී ‘පෙන්නි විලා’ නැමැති හෝටලයක් පවත්වා ගෙන ගිය බවත් 2019 වසරේ මාර්තු 22 වැනිදා ආයුධ සන්නද්ධව එම හෝටලයට කඩාවැදුණු සිවුදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හෝටලයේ තිබු වෑන් රථය කොල්ලකා සුරාජ් නිශාන්ත නැමැත්තාද පැහැරගෙන ගොස් ඇතැයිද එහිදී යාන් පෙන්නි නමැත්තිය සතු විදේශ මුදල් තොගයක්ද කොල්ලකා ඇතැයිද අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම මංකොල්ලකෑම් සිද්ධීන් වලට ආධාර, අනුබල දුන් බව කියමින් කටාන පොලීසිය රොයිස් ප්රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට තිබු බවත් ඔහුට ඇප නියම කරන ලෙස මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් ඉවත දැමු බවත් අධිකරණයට දැනුම් දුන් නීතීඥ දර්ශන කුරුප්පු මහතා වසරකට ආසන්න කාලයක් රිමාන්ඞ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ අධිකරණය ඔහු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට තීරණය කළේය.