කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන් සංශෝධනය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පවතින විදේශ විනිමය හිඟය, ණයවර ලිපි විවෘත කිරීමේ අපහසුතා මෙන්ම පෙර ගෙවීම් ක්‍රමයට අදාළ මුදල් ගෙවීමේ සීමා හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යාවශය යෙදවුම් නියමිත කාලය තුළදි මෙරටට ආනයනය කිරීමට අපහසුවීම හේතුවෙන් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත.
විශේෂයෙන්ම කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීමේදී ඒවැනි ආනයනයන්ට අදාළ සෑම ඇණවුමක් සඳහාම ආයතන කිහිපයකින් අනුමැතිය ලබා ගත යුතු වීම හේතුවෙන් අදාළ ආනයනය ප්‍රමාද වීම මෙන්ම අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බව කෘෂිකාර්මික යෙදවුම් ආනයනකරුවන් විසින් රජයේ අවධානයට යොමුකර ඇත.
ඒ අනුව එළැඹෙන මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන පරිදි හඳුනාගත් කෘෂි බීජ, කෘෂි රසායන ද්‍රව්‍ය හා රසායනික් පොහොර ආනයනය කිරීමේදී දැනට අදාළව වන පෙර ගෙවීමේ සීමාව වන ඇමෙරිකානු ඩොලර් 50000ක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250000ක් දක්වා වැඩිකිරීමට ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මේ අනුව කැබිනට් අනුමැතිය ලැබී තිබේ.