තම රජයක් යටතේ පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (05) පෙරවරුවේ තිස්සමහාරාම, සේනපුර ප්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.
පසුගිය යහපාලන රජය විසින් පැහැදිලි සාක්ෂියක් නොමැතිව විපක්ෂයේ අය අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කළ වැරදි ක්‍රියාමාර්ග ගැන මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු හේතුවක් මත රජයේ සේවකයින් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ,
"අද අපි රැකියා ප්‍රශ්න ගැන කතා කරනවා. අපි පිටරටකට ගියාම දකිනවා මේ පළාතේ තරුණ තරුණියෝ විශාල වශයෙන් ඒ රටවල රැකියා කරන ආකාරය. කොරියාව පිරිලා තියෙන්නෙ අපේ තරුණ තරුණියන්ගෙන්. ජපානයට ගියත් මැද පෙරදිගට ගියත් ලංකාවේ තරුණ තරුණියෝ ඒ රටවල රැකියා කරන ආකාරය දකින්න ලැබෙනවා. අපේ රටේම රැකියා උත්පාදනය කරන්න නම් මහාමාර්ග, විදුලිය, ජලය සහ හොඳ පරිසරයක් අත්‍යාවශ්‍යයි. එහෙම නැතුව ආයෝජකයෝ අපේ රටට එන්නේ නැහැ.
අධිවේගී මාර්ගය, ගුවන්තොටුපොළ, වරාය වගේ දේවල් අපි හැදුවේ ඒකටයි. දැන් කර්මාන්තපුරයක් හදනවා. මේ වෙනකොටත් ඖෂධ නිෂ්පාදන සමාගමක් සහ ටයර් නිෂ්පාදන සමාගමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදි කරන්න මුල් පියවර අරගෙන තියෙන්නේ. ඒ කර්මාන්තශාලාවලට අවශ්‍ය රබර් ප්‍රමාණයෙන් සියයට තිස්පහක් ගන්නේ අපේ ලංකාවෙන්. දැන් ලංකාවේ රබර් වලට හොඳ මිලක් නැති නිසා, නැවත රබර් කර්මාන්තය ගොඩනංවන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒ සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා.
රැකියා උත්පාදිත කර්මාන්ත ඇති කිරීම පරිසරයට හානි නොවන ආකාරයෙන් සිදුකිරීමත් අපේ වගකීමක්. පරිසරයට හානිවන කර්මාන්ත වහාම අත්හිටුවා පරිසරය රැකගැනීමත් අවශ්‍යයි. මම ඒ සඳහා කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. පරිසරය රැකගැනීම හැමදෙනාගේම වගකීමක්.
උතුරු නැගෙනහිර ප්‍රදේශය ඇතුළු ලංකාවට මේ වෙනකොට සීයට සීයක් විදුලිය ලබාදීලා අවසන්. අපේ ඊළඟ ඉලක්කය වන්නේ මුළු රටටම පිරිසිදු පානීය ජලය ලබාදෙන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමයි. උතුරු නැගෙනහිර හෝ වේවා බටහිර හෝ වේවා කන්ද උඩරට හෝ වේවා හැම පළාතක්ම ශක්තිමත් හෝ දියුණු කළ යුතුව තිබෙනවා.
අද තරුණ පිරිස හුඟක් බුද්ධිමත්. ඔවුන් වෙනත් කෝණයකින් සමාජය දෙස බලනවා. මත්කුඩු වසංගතය රටේම බෝවෙලා. පාසල් දරුවන් මේ සඳහා යොදවා ගැනීම ඛේදවාචකයක්. දෙමවුපියන් මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. තමන්ගේ සහෝදරයා, තමන්ගේ දරුවා ගැන සෙවිල්ලෙන් ඉන්න. මත්ද්‍රව්‍ය වසංගතය රටින් තුරන් කරන්න අපි තදින් ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට දකුණු අතින් අල්ලගත්ත කුඩු ටික වම් අතින් විකුණපු අය ගැන විශේෂ පරීක්ෂණයක් කෙරෙනවා ඒ පිළිබඳව ඔබ වැඩිදුර විස්තර දන්නවා ඇති කියලා මම හිතනවා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම ක්ෂේත්රයක් පිළිබඳවම හොඳ අවබෝධයකින් සිටින කෙනෙක්. ඒ නිසාම මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ වුණත් ඉතා හොඳින් කෙරෙන බව අපිට පැහැදිලියි. කිසිම පැහැදිලි සාක්ෂියක් නැතුව රජයේ සේවකයින් අත්අඩංගුවට ගන්න එපා කියලා මම කියලා තියෙනවා. අපිට කරපු වැඩේ අනිත් අයට කරන්න එපා. කිසිම පැහැදිලි සාක්ෂියක් නැතුව අපේ සාමාජිකයෝ, රජයේ සේවකයෝ පසුගිය ආණ්ඩුව කාලයේ අත්අඩංගුවට ගත්ත හැටි, නීතිය වැරදියට ක්‍රියාත්මක කරපු හැටි අපි දැක්කා. ඒ වගේ දෙයක් ආයෙමත් සිදුවෙන්නේ නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.