වර්ෂාව නිසා ඇතැම් දිස්ත්‍රික්කවල වී වගාවට හානි සිදු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන වාර්තා අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් අදාල ගොවීන්ගේ වගා හානි සම්බන්ධව වාර්තා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.
එමනිසා තම වී වගාවට වර්ෂාවෙන් හානි සිදුව ඇත්නම් වහාම වගා හානි ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට වාර්තා කරන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අදාල දිස්ත්‍රික්කවල ගොවිජනතාවගෙන් ඉල්ලා සිටී.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වී වගාවට හානි සිදුවීමේ දී රජයේ මැදිහත්වීම යටතේ වන්දි පිරිනැමීමක් සිදු කරනු ලබයි. ඒ අනුව වගා හානි සිදු වූවහොත් අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටෙයාර් එකකට රුපියල් 100,000ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙනු ලබයි. ඒ සඳහා කිසිදු දායකත්ව මුදලක් අය කරන්නේ නැත.
මීට අමතරව විශේෂ රක්ෂණ ක්‍රමයක් යටතේ එක් කන්නයකට රුපියල් 6400ක එක් වාරිකයක් ගෙවීම මගින් රක්ෂණ දායකත්වය ලබා ගන්නේ නම් වගා හානි වූ අක්කරයකට රජය විසින් පිරිනමන රුපියල් 40,000ක මුදලට අමතරව තවත් රුපියල් 60,000ක මුදලක් වශයෙන් රුපියල් 100,000ක මුදලක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකිවේ. ඒ සඳහා ගොවිජන රක්ෂණ මණ්ඩලය විමසා කටයුතු කළ හැකිය.
කෙසේ වුවද වර්ෂාව නිසා වී වගාවන්ට හානි සිදුව ඇත්නම් ඊට වන්දි මුදල් ලබා දීම සඳහා වගා හානි සම්බන්ධව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු වේ.
මේ අතර ගොයම් කහ වී ඇති බවට ලැබෙන පැමිණිළි අනූව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින් කණ්ඩායම් අද (06) දිනයේ අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල කුඹුරු පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වේ.