ඇල්පිටිය පොලිස් වසමට අයත් පහළඕමත්ත ප්‍රදේශයේ නිවසක විසූ කාන්තාවන් දෙදෙනෙකු අභිරහස් ලෙස මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (16)රාත්‍රී අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙම සැකකරු විසින් මීට පෙර අභිරහස් ලෙස යගිරල ප්‍රදේශයේ කාන්තාවක්ද ගෙල මිරිකා මරාදැමූ බවට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිත්තාව යගිරල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරුවෙකි.කලක් යුධ හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉන් ඉවත්ව ඇති මොහු ඉන්පසුව කුලීවැඩ කරමින් ජීවත්වූ අයෙකු බවත් මොහු හෙරොයින් පානයට තදින් ඇබ්බැහිවූ අයෙකු බවත්, මීට පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහුට විරුද්ධව දැනටත් ඇල්පිටිය,වැලිපැන්න ඇතුළු ප්‍රදේශ කිහිපයක අධිකරණවල නඩු කිහිපයක් විභාගවෙමින් පවතින බවත් පොලිසිය කියයි.
සැකකරු අත් අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු සන්තකයේ තිබී මියගිය කාන්තාවන් දෙදෙනා ළඟ තිබී පැහැරගන්නා ලද රන්භාණ්ඩ හා දුරකථනයක්ද සොයාගත් බවද පොලිසිය පවසයි.
තේනංගොඩ,පහළඕමත්ත ගණේගොඩ ලිපිනයේ පදිංචිව සිටි 69 හැවිරිදි උහන් ඕවිටගේ මල්ලිකා ජයරත්න යන දෙදරු මව සහ ඇය සමග එම නිවසේම පදිංචිව සිටි ඇයගේ ස්වාමිපුරුෂයාගේ වැඩිමහල් සොයුරියක වූ 80 ,හැවිරිදි නාකන්දලගේ ඥානවතී යන දෙදෙනා මෙසේ අභිරහස් ලෙස නිවස තුලම මරාදමා තිබුණ බවට ඇල්පිටිය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සොයාගනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 01 වැනිදාය.
ඒ අනුව ඇල්පිටිය පොලිසියේ දැනුම්දීම මත ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර මහේස්ත්රාත්වරයාගේ නියෝගය මත ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පවත්වනු ලැබීය.
මෙම මරණ දෙකම සිදුවී ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවත්,එම කාන්තාවන් දෙදෙනා මරණයට පත්ව ඇත්තේ ජනවාරි මස 30 වැනිදා රාත්‍රී 8.30 ට පමණ බවත් පරීක්ෂණවලින් තහවුරු වී තිබුණ බවද පොලිසිය කියයි.
අභිරහස් මරණ සම්බන්ධයෙන් සමාජයේ විවිධ කට කතා පැතිරුණු අතර කිසිදු හෝඩුවාවක් නොතිබූ මෙම අභිරහස් මරණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ඇල්පිටිය ජෙෂ්‍යඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස්මත ඇල්පිටිය කොට්ටශ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත බස්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමකට භාර කරනු ලැබීය.
ඒ අනුව හතළිහකගෙන් පමණ සාක්ෂි ලබාගෙන දුරකථන වාර්තා විශ්ලේෂණය කර හා පර්යේෂණ සාක්ෂි උපයෝගී කරගෙන දීර්ඝ කාලයක් කළ විමර්ෂවලින් තහවුරු කරගත් තොරතුරු අනුව එම පොලිස් කණ්ඩායම විසින් ඊයේ ( 16 ) රාත්‍රී අවිත්තාව ප්‍රදේශයේදි මෙම සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරු අත් අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී 2022.10.30 වන දින යගිරල අඹගහකන්දේ පදිංචිව සිටි නාකන්දලගේ දෝන කරුණාවතී (බෝනික්කි) යන කාන්තාවද ගෙල සිරකර මොහු විසින් මරාදැමු බව අනාවරණය වී ඇත.
මෙම සැකකරු විසින් කාන්තාවන් දෙදෙනා මරාදමා මුදල් රුපියල් 7700/= ක් පැහැරගෙන ඇති අතර පැහැරගන්නා ලද ජංගම දුරකථනය මොහු සන්තකයේ තිබි සොයාගෙන තිබේ.කාන්තාවන් තිදෙනා මරා පැහැරගත් රන් භාණ්ඩ ඇල්පිටිය හා වැලිපැන්න ප්‍රදේශයේ පෞද්ගලික උකස් කඩවල උකසට තබා තිබී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (17 ) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
දකුණු පළාත් ජේෂ්‍යඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතාගේ සහ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.අයි.ඩී.ආර්.විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය කොට්ටාශ භාර ජේෂ්‍යඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ සහ ඇල්පිටිය කොට්ටාශ (01) භාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශණ අංශයේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක හේමන්ත බස්නායක ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.සුසන්ත කුමාර යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර