ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01දා) ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය.
මෙම සමාගම විසින් වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබු කොම්පෝස්ට් පොහොරවල සියයට 34කට වඩා තිබී ඇත්තේ වැලි බව සනාථ වී තිබේ.
මේ සම්බන්ධව ජනමාධ්‍ය විසින් ද වාර්තා කර තිබූ අතර ගොවි ජනතාව ද කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිළි කර තිබේ.
ඒ අනුව ඊයේ (01දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පෑවැතී පළාත් කෘෂිකර්ම සමුළුවේ දී අමාත්‍යවරයා මෙම කාරණය සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසීමක් කළේය.
එහිදී සදහන් වූ කාරණා සැළකිල්ලට ගනිමින් එකී කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගම අසදු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, දැනට එම සමාගම විසින් ගොවීන්ට කොම්පෝස්ට් පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ගොවිජනතාවට සපයන කාබනික පොහොර ප්‍රමිතියෙන් බාල බවට සනාථ වුවහොත් කවර සමාගමක් වුවද අසදු ලේඛනගත කර එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.