කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ අංක 6079 දරණ "මීන ගයා" දුම්රිය, දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (12දා) රාත්රි කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කිරීමත් සමග ප්රකෝප වූ මගීහු පිරිසක් එම දුම්රියට අලාභ හානි සිදු කර ඇතැයි කැකිරාව පොලීසිය පවසයි.
මඩකලපුව බලා ධාවනය වූ මෙම දුම්රිය ඊයේ (12දා) රාත්රී 11.55 ට පමණ කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර, දුම්රියේ ගමන් කළ 900ට ආසන්න මගීහු පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට ලක්ව සිටියහ.
කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කල මෙම දුම්රිය නැවත ගමන් නොකිරීම හේතුවෙන් ප්රකෝප වූ දුම්රිය මගීහු, දුම්රිය මැදිරි වලට පහර දී, වීදුරු කඩා දමා අලාභ හානි සිදු කර ඇතැයි පොලීසිය පවසයි.
මෙම අවස්ථාවේදී වහා ක්රියාත්මක වූ කැකිරාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට කැඳවා, දුම්රිය ස්ථානයට සහ දුම්රිය කාර්ය මණ්ඩලයට ආරක්ෂාව ලබා දීමට පියවර ගත්තේය.