ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ට මුහුණපෑමට සිදු වී තිබෙන ක්ෂය රෝග අවදානමේ ඇති භයානකකම තේරැම් නොගැනීම කනගාටුවට කරුණක් බවත්, පශු වෛද්‍යවරුන් හා අලි ඇතුන් බලාගන්නන්ද එම අවදානමට මුහුණදී ඇති බැවින් තමන්ද තුන්වරක් ක්ෂය රෝග පරීක්ෂාව සිදුකරගත් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතා පැවසීය.
ඒ මහතා එසේ පවසා සිටියේ ශ්‍රී ලංකාවේ හීලෑ අලිඇතුන් මුහුණදී ඇති ක්ෂය රෝග අවදානම සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු අනාවරණය කරමිනි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ වෑවලදෙණියේ රාජ හස්තියා ක්ෂය රෝග තත්ත්වයෙන් මියගිය බවට වෛද්‍ය වාර්තාවල පැහැදිලිව සඳහන්ව තිබියදී එම ඇතා සමග ගැවසෙන අනෙක් අලි ඇතුන් පිළිබඳව සොයාබැලීම සඳහා අවශ්‍ය උපකරණ නොමැතිවීම කනගාටුවට කරුණක් බවයි.
අලි ඇතුන් සමග ගැවසෙන සියලු පශු වෛද්‍යවරුන් හා අලි ඇතුන් බලාගන්නන් ක්ෂය රෝග පරීක්ෂාව කරගත යුතු බව පැවසූ ඒ මහතා, අලි ඇතුන්ගේ ක්ෂය රෝග පරීක්ෂාව සිදුකිරීමට අවශ්‍ය උපකරණ තමන් පෞද්ගලිකව මැදිහත් වී හෝ ගෙන්වාගැනීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් කෙසේ හෝ සොයාගන්නා බවත් පැවසීය.