මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් රහස් පොලිසිය බාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැති තම පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි ඔහුගේ පියා රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් අද (16) ඉල්ලා සිටියේය.
පොලිස් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුෂ් වැනි සැකරුවන් විමර්ශන කටයුතු සඳහා බව කියමින් පිටතට රැගෙන ගිය අවස්ථාවලදී වෙඩි තබා මරා දැමුණු සිද්ධීන් වී ඇතැයි පෙන්වාදෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති සැකකරුගේ පියා මේ අවස්ථාවේදී රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලූවක් මතුවී ඇතැයි පවසමින් තම පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති සැකකරුගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.
තම පුත්‍රයා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන රහස් පොලිස් නිලධාරීන් විසින් මෙරට රැගෙන විත් මේ වනන විට රහස් පොලිසිය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව රිට් පෙත්සම මඟින් දැනුුම් දෙන පෙත්සම්කාර මර්වින් වික්‍රමරත්න මහතා තම පුත්‍රයාට එරෙහිව කොළඹ හා මාතර අධිකරණ වල නඩු 07ක් පවතින බවත් දැනුම් දී ඇත.
පොලිස් අත්අඩංගුවේ පසුවූ මාකඳුරේ මධුෂ් වැනි සැකරුවන් විමර්ශන කටයුතු සඳහා බව කියමින් පිටතට රැගෙන ගිය අවස්ථාවල දී වෙඩි තබා මරා දැමුණු අවස්ථා ඇතැයි පෙන්වාදෙන පෙත්සම්කරු මෙම තත්ත්වය මත තම පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලූවක් මතුවී ඇතැයිද සිය පෙත්සම මඟින් පෙන්වාදෙන ඔහු මේ තත්වය සළකා බලා රහස් පොලිසිය බාරයේ පසුවන තම පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට වගඋත්තරකරුවන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටී.
අත්අඩංගුවේ පසුවන තම පුත්‍රයා විමර්ශන කටයුතු සඳහා මහේස්ත්රාත්වරයෙකු දැනුවත් නොකොට බාහිර ස්ථානයකට රැගෙන නොයන ලෙසද තම පුත්‍රයා විමර්ශන කටයුතු සඳහා බාහිර ස්ථානයකට රැගෙන යන්නේ නම් ඔහුගේ අත් සහ පා විලංගුලා රැගෙන යන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නනැයිද ඉල්ලා සිටින පෙත්සම්කරු රහස් පොලිසිට බාරයේ රඳවා සිටින තම පුත්‍රයා හමුවීමට ඥාතීන්ට සහ නීතිඥවරුන්ට අවසර දෙන්නැයිද යම් අවස්ථාවක පුත්‍රයා ඇප මත මුදා හරිනු ලැබූවහොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට වගඋත්තරකරුවන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටී.