හම්බන්තොට වරාය 99 වසරකට බදුදීමෙන් ගත් මුදලින් වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවා නැහැ - කෝප් කමිටුවේදී අනාවරණය වෙයි
- වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්රකාශනයක මේවන විට නොපෙන්වන බවද හෙළි වෙයි...
- වරාය අධිකාරියේ අවිධිමත් හා සංකීර්ණ සේවක බඳවා ගැනීම් නවතා නෛතික රාමුව තුළ පමණක් කටයුතු කිරීමට නිර්දේශ....
- වරාය අධිකාරියේ සේවකයන් සදහා ගෙවා ඇති රු. මිලියන 5,850 ක අතිවිශාල අතිකාල දීමනා වෙනුවට සාධාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් නිර්දේශ...
හම්බන්තොට වරාය 2017 වසරේදී බදුදීමෙන් ලද මුදලින් වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවා නැති බවත් එම මුදල් වෙනත් කාර්යන් සදහා යොදවා ඇති බවත් ඊයේ ( 22) පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය විය.
මේ අනුව 2017 වසරේ වරාය 99 වසරක බද්දට දීමේදී ලැබුණු මුදල මෙන්ම ඉතිරි ණය මුදල වරාය අධිකාරිය විසින් මහාභාණ්ඩාගාරයට ලබා දුන් බවත් ණය පොලී අනුපාතය අඩු අගයක් ගත් බැවින් වරාය ඉදිකිරීමට ගත් ණය මුදල පියවීම සිදුනොකොට භාණ්ඩාගාරය විසින් රජයේ වියදම් සදහා යොදා ගෙන ඇති බවත් මෙහිදී හෙළිවිය.
මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට ණය හා පොලිය ආපසු ගෙවීම සිදු කළද ගිණුම් ප්රකාශනවල නිසි පරිදි එය ණය ගෙවීමක් බව සටහන් නොවන බවද මෙහිදී අනාවරණය විය.
2017 නොවැම්බර් 30 වන විට වරාය අධිකාරියේ ගිණුම්වල ඉතිරිව පැවති රු. මිලියන 147,746 ක ණය හා පොලී ශේෂය සහ රු. මිලියන 31,545 ක විදේශ විනිමය පරිවර්තන අලාභය වරාය අධිකාරිය විසින් මහාභාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමතියකින් තොරව මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත්ව කර ඇති බව අනාවරණය විය.
මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්රකාශනයක මේවන විට නොපෙන්වන බවද මෙහිදී කෝප් කමිටුව හමුවේ වැඩිදුරටත් අනාවරණය විය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019,2020 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව ඊයේ (22) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මේ අනුව මේ පිළිබද මුදල් අමාත්‍යාංශය , වරාය අධිකාරිය සමග සාකච්ඡා කොට නිසි පරිදි මෙය ගිණුම් ප්රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගෙන මසක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කරන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.
2017 නොවැම්බර් සිට මෙහෙයුම් කටයුතු නතර කර තිබූ අධිකාරියේ පරිපාලිත සමාගමක් වන මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගම විසින් 2014 වර්ෂයේදී නැව් තෙල් මිලදී ගැනීම සදහා මෙරට බැංකුවකින් ඇ.ඩො මිලියන 24 ක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් එම මුදල පියවීමට අපොහොසත්වීම නිසා අදාළ බැංකුව මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත් මෙහිදී හෙළි විය.
මෙහිදී අනාවරණය වූයේ ඇ.ඩො මිලියන 24 ක නැව් තෙල් මිලදී ගත්තද එම තෙල් භාවිත නොකොට දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නිසා කල් ඉකුත් වූ පසු ඇ.ඩො. මිලියන 3.5 කට විකුණා ඇති බවයි. මේ අනුව ඇ.ඩො මිලියන 20.5 කට ආසන්න අලාභයක් මෙහිදී සිදුවී ඇති බවට නිරීක්ෂණය විය.
චීන සමාගමකට 2017 දී වරාය බදු දීමේදී මෙම ‘මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගමේ’ තෙල් ටැංකි සියල්ලමද පවරා දීම සිදු කර ඇති බවත් එම අවස්ථාවේදී මෙම ණය මුදල් පිළිබදව අනාවරණය කර නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය. එම හිටපු අධ්යක්ෂ මණ්ඩලය සහ උපදේශකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වහාම මැදිහත් වන ලෙස මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව නිර්දේශ කළේය.
වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව වන 9990 ඉක්මවා නොගියද අවිධිමත් හා සංකීර්ණ ලෙස බදවා ගැනීම් සිදුව ඇති බව මෙහිදී හෙළිවිය. වරාය අධිකාරිය 2010 වසරේදී ඉදිරිපත්කොට ඇති සේවකයන් බදවා ගැනීමේ පටිපාටිය ( SOR) කළමනාකරණ සේවා දෙපාරතමේන්තුවෙන් අනුමත වී නොමැති බවද මෙහිදි අනාවරණය විය. ආයතනය සහ සේවකයන් අතර සාමුහික ගිවිසුම් මගින් බදවා ගැනීමේ පටිපාටිය හා වැටුප් තල තීරණය කොට ඇති බවත් මෙහිදී වරාය අධිකාරියේ නිලධාරීහු පැවසූහ.
කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ වැටුප් කොමිසමේ නිර්දේශයන්ට වරාය අධිකාරය එකගත්වය පළ කර නොමැති බවද ඒ අනුව තනතුරු පමණක් අනුමත කර ඇති බව ද මෙහිදී හෙළි විය. අධිකාරියේ අදාළ වැටුප් තල අනුමත නොවන නිසා බදවා ගැනීමේ පටිපාටියද (SOR) අනුමත කරගත නොහැකි වී ඇති බවද තවදුටරටත් මෙහිදී අනාවරණය විය.
සාමූහික ගිවිසුම් මගින් වැටුප් තල හා බදවා ගැනීමේ පටිපාටිය තීරණය කළද වරාය අධිකාරිය යනු මෙරට තුළ පිහිටා ඇති ආයතනයක් බැවින් අනෙකුත් ආයතනවලට අදාළ නෛතික රාමුව තුළ පමණක් සිදු වීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. යම් විශේෂිත හේතු කාරණා ඇත්නම් ඒ පිළිබද සාකච්ඡා කොට නෛතික රාමුව ඔස්සේ මෙම ගැටලුව කඩිනමින් විසදා ගැනීමට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග කඩිනමින් සාකච්ඡා කොට මේ පිළිබද නිසි තීරණයක් වහාම ගන්නා ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.
අධිකාරියේ සේවකයන් සදහා ගෙවා ඇති අතිවිශාල අතිකාල දීමනා ගෙවීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. 2021 වසරේදී සේවක අතිරික්ත පැවති අංශවල සේවකයන් වෙනුවෙන් ගෙවන ලද රු. මිලියන 1173 ක් ඇතුළු වර්ෂය සදහා ගෙවා ඇති රු. මිලියන 5,850 ක සමස්ත අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුවිය.
වැඩ සහයකයන් ලෙස සුදුසුකම් රහිත 1500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන ඇති තත්ත්වයක එම වෘත්තිය හැකියාව සහිත පුද්ගලයන් සදහා රාජකාරිය වෙනුවෙන් අමතරව අතිකාල දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. තවද මාසකට පැය 400 ක් පමණ අතිකාල දීමනා ගන්නා සේවකයන් සිටින බවත් මෙහිදී හෙළි විය.
මෙම තත්ත්වය පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපතිවරයා මින් ඉදිරියට කිසිසේත්ම මෙය සිදු නොවිය යුතු බවත් නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් බදවා ගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.
එසේම දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් බදවා ගැනීම් සදහා ඉඩ සැලසීම පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලඥන්ගේ වගකීමක් බව කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු අවධාරණය කළහ.
මුදල් පනත සහ ලංකා වරායවල් පිළිබද අධිකාරිය පනත අනුව ඒකාබද්ධ අරමුදල වෙත ලාභාංශ හා අතිරික්ත මුදල් ලබා නොදීම පිළිබදව ද සාකච්ඡා විය. 2016 සිට 2021 දක්වා අධිකාරිය රු. මිලියන 69,686 ක් ලාභ ලබා තිබුණද භාණ්ඩාගාරයට ලබා දී ඇත්තේ රු. මිලියන 600ක් බවද මෙහිදී අනාවරණය විය.
ඇතැම් ණය වාරික ගෙවීම, නඩත්තු කටයුතු සදහා විශාල මුදලක්ද වැය වන බව වරාය අධිකාරියේ සභාපතිවරයා මෙහිදී පැවසීය. ලාභ ලබන ආයතනයක් ලෙස වරාය අධිකාරියේ කාර්ය භාරය අගය කරන අතරම වරාය පනත අනුවද 8% ක ලාභයක් භාණ්ඩාගාරයට දිය යුතු බැවින් ඒ සදහා කටයුතු කරන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.
වරාය නැගෙනහිර බහාළුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සදහා දොඹකර මිලදී ගැනීමට වැඩ ආරම්භ කිරීමේ ප්‍රමාදය පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී වරාය අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මිලදී ගැනීම් කටයුතු 2024 වන විට නිම කරන්නට සැලසුම් කර ඇති බවයි. එම කටයුතු කඩිනමින් සිදු කොට එම පර්යන්තය වානිජ කටයුතුවලට යොදා ගනිමින් මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව අවධාරණය කරන ලදී.
අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. 2022 වර්ෂයට අදාළ විගණන සැලැස්මද කෝප් කමිටුව වෙත එවන ලෙස නිර්දේශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු පාඨලී චම්පික රණවක, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු මහින්දානන්ද අළුත්ගමගේ, ගරු ජගත් පුෂ්පපකුමාර, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු ඉන්දික අනුරුද්ධ, ගරු මධුර විතානගේ හා ගරු ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරු ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතාද වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.