ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කොට වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස ලබාදුන් උපදෙස් අනුව මෙතෙක් කටයුතු නොකිරීම හා එම සිද්ධියට අදාළව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු නොවීමේ හේතූ වහාම දැනුම් දෙන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (07දා) දැනුම් දුන්නේය.
ගිහාන් පිලපිටිය මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන සමයේදී ඔහු ඉදිරියේ විභාග කරන නඩුවකට අදාළව පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත්‍රණය කලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් අනුව ගෙන ඇති නීතීමය පියවර පිළිබඳව අනිද්දාට (10දා) පෙර තමන්ට දැනුම් දෙන ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
නීතීය ක්‍රියාත්මක කිරීමේදී හා යුක්තිය පසිඳලීමේදී සියළු සැකකරුවන් සම්බන්ධයෙන් සර්ව සාධාරණ විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වගන්තීන් පිළිබඳව මෙන්ම ඒ අනුව කටයුතු කිරීමට සියළු පාලන ආයතන බැඳී සිටින බව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපිය මඟින් අවධාරණය කර ඇති බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.