පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) තීරණය කළේය.
මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා දින හතරක් විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ සාක්කිකරුවන් 05 දෙනෙකුට ඒ දිනවල අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොළඹදී නීතිවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් 44,51,11,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතිවිරෝධි ක්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දනිමින්ම ඉන් රුපියල් 30,62,68,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම් වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකොට ඇති බවද නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතිවිරෝධි ක්‍රියාකාරකම් වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් එලෙස සිදුකළ විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමෙන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා භාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
14 වැනි පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්යක්ෂධුර වලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරු කළ බව විත්තිකරු සඳහන් කළත් විත්තිකරු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් අනතුරුවද අදාළ ව්‍යාපාරයන්හී මෙහෙයුම් කටයුතු වල සක්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 07 ක් උපයෝගි කරගනිමින් සැකකටයුතු ගණුදෙනු වල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම් වල රුපියල් 45,87,47,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.
මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට හැකියාවක් ලැබී නැති බවද නීතිපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලීන් හේවාවසම් මහතා අධිකරණය අමතමින් විත්ති පාර්ශවය වෙත භාරදිය යුතු ලේඛණ නිසි පරිදි ලබාදී ඇතැයි දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සලකා බලමින් අදාළ ලේඛණ නිසි පරිදි විත්ති පාර්ශවයට ලැබී ඇත්ද යන්න පරික්ෂා කර බලා අඩුපාඩු ඇත්නම් අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ විනිසුරුවරයා ඒ සඳහා මෙම නඩුව ලබන නොවැම්බර් මස පළමුවැනිදා යළි කැඳවීමට නියම කළේය.