ලොව ශ්‍රේෂ්ඨතම පරිසරවේදියා බුදුරජාණන් වහන්සේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රංශයේ පැරිස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අමතා පැවසීය. එසේම තිරසාර සංවර්ධනය පිළිබඳව දේශනා කළ පළමු දාර්ශනිකයා වන්නේද බුදුරජාණන් වහන්සේ බව ඔහු පැවැසුවේය.
ජනාධිපතිවරයා පැවැත්වූ දේශනය
සංවර්ධනය වෙමින් පවතින රටක් හා නිවර්තන කලාපීය දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයේ බලපෑමට ඉතා විශාල ලෙස නිරාවරණය වී ඇත. උෂ්ණත්වයේ වෙනස්වීම්, වර්ෂාපතනයේ වෙනස්කම් හා මුහුදු මට්ටම ඉහළ යාම කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත, ජලය, ජෛව විවිධත්වය, සෞඛ්‍යය, මානව පදිංචි කිරීම්, සංචාරක කර්මාන්තය හා ප්‍රවාහනය ඇතුළු අපේ රටේ ආර්ථිකයේ සියලුම අංශයන්ට පාහේ ඍජුවම බලපෑම් කරයි.
නියඟය, ගංවතුර හා නායයෑම් වැනි සිමාන්තික කාලගුණික තත්ත්වයන් නිසාවෙන් හටගන්නා ස්වාභාවික ව්‍යසනයන් ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත හා ජීවන වෘත්තීන් නිරන්තරයෙන් අහිමි කරවයි. තාක්ෂණය සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙතට ගෙනයාම තුළින් එම රටවල ජනතාවට එම කාලගුණික තත්ත්වයන්ට අනුවර්තනය වීමේත්, ඒවා අවම කිරීම සඳහා ජාතික වශයෙන් යෝග්‍ය වූ ක්‍රියාකාරකම් වෙත නැඹුරුවීමේත් හැකියාව තහවුරු වනු ඇත. ගෝලීය අර්ථයෙන් ගත් කල අපේ ඒකපුද්ගල විමෝචනය පහත මට්ටමක පැවතියද දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය වශයෙන් කෙරෙන වෑයම්වලට අපිද දායක වී ඇති අතර, ඉදිරියටද එසේ දායක වන්නෙමු. අපේ රට ගැන කතා කළහොත්, ශ්‍රී ලංකාව දේශගුණයට හිතැති වැඩසටහන් දියත් කොට ඇති බව මා සඳහන් කරන්නේ සතුටිනි.
1988 දී මෝල්ටාවේදී කාලගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය දියත් කිරීමට මග පෙන්වූ ඓතිහාසික මුල පිරුම අපි හඳුනාගෙන ඇත්තෙමු. දේශගුණය පිළිබඳ එළඹීමට නියමිත එකඟතාවෙහි කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ජාතික වශයෙන් සිදුකිරීමට අදහස් කොටගෙන සිටින දායකත්වයන් ශ්‍රී ලංකාව දැනටමත් සන්නිවේදනය කොට තිබේ.මෙම ඓතිහාසිකම වගකීම සැලකිල්ලට ගනිමින් සංවර්ධිත රටවල් විසින් සිදුකරනු ලබන ගෝලීය හරිතාගාර වායු මෝචනය විශාල වශයෙන් අඩු කිරීම අවශ්‍ය වේ. පොදු වගකීම් පිළිබඳ මූලධර්මයන් වැලඳගැනීම අපට අවශ්‍ය වුවද මෙම සියවස තුළ උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක දෙකට පහළින් තැබීම සඳහා අපට විවිධ වගකීම් ඇති අතර, ඒ සඳහා අදාළ හැකියාවන්ද තිබිය යුතුය.
පැරීසියේ පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුවේ සාර්ථකත්වය අපේක්ෂා කරන ශ්‍රී ලංකාව හරිතාගාර වායු මෝචනය විශාල වශයෙන් පහත හෙළීම, ගෝලීය උෂ්ණත්වය හා පෙර නොවූවිරූ දේශගුණික විපර්යාසවල බලපෑම අඩු කිරීමට නීතිමය වශයෙන් වූ එකඟතාවකට බැඳීමට මගබලා හිඳියි. වත්මන් හා අනාගත පරම්පරාවන්හි නාමයෙන් වූ ශ්‍රී ලංකාවේ හෘදයාංගම අපේක්ෂාව නම් පොදුරාජ්‍ය මණ්ඩලයීය දේශගුණික ක්‍රියාමාර්ග මේ මොහොතේ පැවැත්වෙන මෙම සංවාදය සඳහා පාලමක් සකසනු ඇති බවයි. මේ ලොවට පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදියාණන් වන්නේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ බව බෞද්ධයෙකු ලෙස මා දැඩිව විශ්වාස කරමි. තිරසාර සංවර්ධන සංකල්පය පිළිබඳව දේශනා කළ පළමු දාර්ශනිකයා වන්නේද උන්වහන්සේයි.