ශ්‍රී ලංකාවේ ඉපදී, ඇමෙරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක ඇතුළු කාන්තාවන් සිවුදෙනෙකු විසින් ඇමෙරිකාවේ නිව් යෝක් ප්‍රාන්තයේ නීතිපතිවරයා තමන්ව ශාරීරික වශයෙන් පීඩාවට පත් කළ බවට එල්ල කරන ලද චෝදනාවක් හේතුවෙන් නිව් යෝක් නුවර නීතිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නිව් යෝක් ප්‍රාන්තයේ නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ එරික් ස්නයිඩර්මන් මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ නිව් යෝක් ආණ්ඩුකාරවරයාගේ දැනුම් දීමක් අනුවය.
අදාළ කාන්තාවන් විසින් ඇමෙරිකාවේ නිව් යෝකර් (New Yorker) සඟරාවට තමන්ට සිදු වූ ශාරීරික පීඩාවන් පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තන්යා සේල්වරාතම් මෙම කාන්තාවන් සිවුදෙනා අතරින් එක් අයෙකු වන අතර, ඇය ස්නයිඩර්මන් හා විවාහ වී සිට 2016 වසරේදී දික්කසාද වී ඇත.
ඇය හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර, ලේඛිකාවක, නිළියක, චිත්‍රපට අධ්යක්ෂවරියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක ලෙසද කටයුතු කර තිබේ.
සනයිඩර්මන් සෙල්වරාතම්ට ආමන්ත්‍රණය කර ඇත්තේ දුඹුරු වහල් සේවිකාව යනුවෙන් වන අතර, ඇතැම් අවස්ථාවල තමන්ට 'ස්වාමීනී' යනුවෙන් අමාන්ත්රණය කරන තෙක්ම පහර දුන් බව සෙල්වරාතම් සිය ප්‍රකාශයෙන් පවසා ඇත.
එසේම ඔහු තමන්ව අසම්මතික ලිංගික හැසිරීම් සඳහා පෙළඹවා ගැනීමට උත්සාහ කළ බවත්, බොහෝ අවස්ථාවලදී ඔහු තමන්ට පහර දුන් බවත් ඇය පවසා තිබේ.
කෙසේ වෙතත් සිය ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කළ ස්නයිඩර්මන් පවසන්නේ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, තමන්ට පෞද්ගලික ජීවිතයක් පැවැති නමුත් අසම්මතික ආකාරයෙන් ලිංගික හැසිරීම් සඳහා යොමු නොවුණු බවත්ය.
(නිව් යෝකර් හා නිව් යෝක් ටයිම්ස් ඇසුරිනි)