ලොව ප්‍රකට මනුෂ්‍ය ඝාතකයන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම වාගේ සිටිමින්, කාන්තාවන් 16 දෙනෙකු ඇතුළු පුද්ගල ජීවිත 39ක් බිලිගත් 26 හැවිරිදි තියාගෝ හෙන්රීකේ ගෝමස් ද රෝචා නමැති බ්‍රසීල ජාතික ඝාතකයා අත්අඩංගුවට පත්ව තිබේ.
මුරකරුවෙකු ලෙස ජීවිකාව ගෙවමින් සිය මව සමග ජීවත් වී ඇති මොහු බැලූ බැල්මට කඩවසම් තරුණයෙකු නිසා, මහා මනුෂ්‍ය ඝාතකයෙකු ඔහුගේ බැටළු හමට යටින් සිටින්නට ඇති බව කිසිවෙකුත් විශ්වාස කර නැත.
කෙසේ වෙතත්, මොහු ජීවත් වූ ගොයිආනියා පළාත තුළ දිගින් දිගටම සිදුවන මහා මනුෂ්‍ය සංහාරයන් හේතුවෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ඝාතන සෙවීම සඳහා පත්කර ඇත. ඒ අනුව, එම පොලිස් කණ්ඩායම විසින් මොහු අත්අඩංගුවට ගෙන අති අතර, එහිදී, මෙම ජනවාරි මාසයේදී සුපිරි වෙළෙඳ සැලක් අසල නවතා තිබූ යතුරුපැදි අංක තහඩුවක් සොරකම් කිරීමේ චෝදනාවට මොහුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පැවති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම, අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් ඔහු ව්‍යාජ අංක තහඩුවක් යොදා ගනිමින් යතුරුපැදිය ධාවනය කරමින් සිට ඇති බව පොලීසිය කියයි.
අත්අඩංගුවට පත්වීමෙන් පසුව පොලීසියට පාපොච්ඡාරණය කර ඇති රෝචා නමැති මෙම මනුෂ්‍ය ඝාතකයා පවසා ඇත්තේ තමන් යතුරුපැදියේ ගමන් කරන අතරවාරයේදීම වෙඩි තැබීම් සිදුකරමින් මනුෂ්‍ය ඝාතනය සිදුකළ බවයි.
ඔහු අතින් ඝාතනයට ලක්වූ කාන්තාවන් අතර 14 හැවිරිදි දැරියකද සිටින අතර, මේ වසර තුළදීම තවත් තරුණියන් දෙදෙනෙකුට ඔහු වෙඩි තබා තිබුණේ උද්‍යානයක් තුළදීය. මීට අමතරව නිවස අහිමි විදියේ ජීවත්වන පුද්ගලයන් කිහිප දෙනෙකුද ඔහුගේ උණ්ඩ පහරට ලක්ව තිබේ.
තමා අතින් සිදුවූ ඝාතනයන් සියල්ල තමන්ගේ සිතට දැනුණු සාංකාවෙන් මිදීම වෙනුවෙන් සිදුකළ බව මොහු පොලීසිය හමුවේ තවදුරටත් පාපොච්ඡාරණය කර තිබේ.