කොන්ක්‍රීට් කළ අතුරු මාර්ගයකට අදාළ වියදම් ඇස්තමෙන්තුව සකස් කරදීම සඳහා කොන්ත්රාත්කරුවකුගෙන් රුපියල් 8000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු තාක්ෂණික නිලධාරියාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
විත්තිකරුගේ ක්‍රියාවෙන් රාජ්‍ය සේවය විශාල ලෙස හෑල්ලූවට ලක්වී ඇති හෙයින් එවැනි රාජ්‍ය සේවකයකුට ලිහිල් ආකාරයෙන් දඬුවම් ලබාදිය නොහැකි බව අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවම් වලට අමතරව රුපියල් 10,000/- ක දඩ මුදලක්ද නියම කළේය.
විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 8000/-ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දඩ මුදල් නොගෙවුවහොත් අමතර වසර 1 1/2ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කළේය.
විත්තිකරුගේ ක්‍රියාවෙන් රාජ්‍ය සේවය විශාල ලෙස හෑල්ලූවට ලක්වී කඩාවැටීමකට ලක්ව ඇතැයිද සමස්ථ සමාජයම අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහිව චෝදනා හතරෙන් දෙකක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඩුවම නියම කළ විනිසුරුවරයා දෝෂ සහිත බවට තීරණය කළ සෙසු චෝදනා දෙකෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණික නිලධාරියා වශයෙන් කටයුතු කළ චන්දන කාරියකරවන නමැත්තාටය.
2015 දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරමින් ධම්මාවාස අතුරු මාර්ගය කොන්ක්‍රීට් කරදීම වෙනුවෙන් වියදම් ඇස්තමෙන්තුව සකස් කරදීම සඳහා කොන්ත්‍රාත්කරුවකු වන රවින්ද ලක්මාල් ජයරත්න නමැත්තාගෙන් රුපියල් 10,000/- ක අල්ලසක් ඉල්ලා 2015 දෙසැම්බර් මස 22 වැනිදා ඉන් රුපියල් 8000/-ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පැමිණිලිකරු කොන්ත්‍රාත්කරුවකු වන බවත් ඔහු යක්කලමුල්ල ධම්මාවාස අතුරු මාර්ගය කොන්ක්‍රීට් කරදීම වෙනුවෙන් වියදම් ඇස්තමෙන්තුව සකස් කරදෙන ලෙස යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කළ විත්තිකරුගෙන් ඉල්ලූ අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 10,000/- ක මුදලක් ඉල්ලා ඇති බවත් පසුව රුපියල් 8,000/- ක මුදලක් ලබාගනිද්දී ඔහු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අල්ලා ගෙන ඇති බවත් හෙළි විය.
විත්තිකරුට එරෙහි චෝදනා හතරෙන් දෙකක් දෝෂ සහිත බව සිය තීන්දුවෙන් පෙන්වා දුන් විනිසුරුවරයා එම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුවන්ට එරෙහි සෙසු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතිඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය අධිකරණය අමතමින් රාජ්‍ය සේවකයින් ජීවත්වන්නේ මෙම රටේ පොදු මහජනතාව බදු වශයෙන් රජයට ගෙවන මුදල් වලින් බවත් බදු මුදල් වලින් වේතන ලබන රාජ්‍ය සේවකයා මහජනතාවගේ කටයුතු කරදීම වෙනුවෙන් තුටු පඩුරු බලාපොරොත්තුවීම නිසා රට පිරීහීමට පත්ව ඇතැයි කීවාය.
රාජ්‍ය සේවකයින් අල්ලස් ලබා ගැනීම හේතූවෙන් ඔවුන් මහජනතාව අතර දැඩි පිළිකුලට ලක් වනවා මෙන්ම එය රටක යහපැවැත්මටද දැඩි හානි සිදුවන බව පෙන්වා දුන් ගංගා හෙයියන්තුඩුව මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ උපරීම දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම විත්තිකරුගේ ක්‍රියාකාරකම් හේතූවෙන් රාජ්‍ය සේවයට කලු පැල්ලම් වැටී ඇතුවාක් මෙන්ම රාජ්‍ය සේවය අවමානයට ලක්ව ඇතැයි අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරු සිදුකොට ඇති වරදේ ඇති බරපතල ස්වභාවය සැලකිල්ලට ගැනීමේදී ලිහිල් ආකාරයෙන් දඩුවම් නියම කිරීමට හෝ දඬුවම් එකවර ගෙවී යන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාක් නැතැයි පෙන්වා දෙමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය පෙනී සිටියාය.