වර්තමාන පාලකයන් තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගැනීම උදෙසා රටට දැයට සමයට බලපාන කරුණු වෙනුවෙන් හඬ නගනු ලබන ස්වාමීන් වහන්සේලා සිරගත කිරීම, පහරදීම, නින්දා අපහාස කරවීම, සමාජය තුළ අපහාසයට පත්කොට ඒ තුළින් භික්ෂුවගේ උරුමය, බලය විනාශ කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත්, සිංහල ජන සමාජයටත් වර්තමානයේ අත්වී ඇති ඉරණම පිළිබඳව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝසභාවේ කණගාටුව, අප්‍රසාදය හා බලවත් විරෝධය පළ කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
වර්ෂ 2,500කටත් වැඩි අනාදිමත් කාලයක් තිස්සේ පවතින උරුමය හා ශ්‍රී ලාංකේය බෞද්ධ ජනසමාජයේ උන්නතිය හා සුරක්ෂිතභාවය වෙනුවෙන් මහා සංඝරත්නය ඉටුකළ මෙහෙවර අන් කිසිවකටත් දෙවැනි නොවන බවත්, කිසිවෙකුත් ඉදිරියේ දණ නොනැමූ අභිමානවත් ගෞවරණීය ඉතිහාසයකට අප හිමිකම් කියන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයන්හිදී පවා ඔවුන් බෞද්ධ භික්ෂූන්ගේ උරුමය හා කැපවීම, උපේක්ෂාවෙන් විඳදරා ගත් අතර උන්වහන්සේලාට අභියෝග නොකළ බවද එහි සඳහන් වේ. එසේ කළේ නම් එදා දළදා වහන්සේ අභියස ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා සිංහ කොඩිය එසවූ වාරියපොළ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන් මෙන්ම වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල, කුඩාපොළ හිමියන්, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් වැනි සියලුදෙනා වහන්සේටද අභියෝග කර හැකිව තිබූ බවද එහි දැක්වෙයි. ජාතික වීරවරුන් වන උන්වහන්සේලා සියලු දෙනාටම චීවරධාරී පිස්සන්, චීවරධාරී රස්තියාදුකාරයන්, චීවරධාරී මදාවියන්, චීවරධාරී මුදලාලි, චීවරධාරී හොරුන් ලෙස හන්වඩු ගසා සිරගත කිරීමට හැකියාව තිබුණත්, ඉංග්‍රීසි පාලකයන් පවා බුද්ධ චීවරයට නින්දා නොකොට භික්ෂුවගේ හඬට අභියෝග නොකර එයට අවනත වූ බව ඉතිහාසය සාක්ෂි දරන බවද එම නිවේදනයෙන් පෙන්වා දෙති.
ඒ අනුව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාවේ නිගමනය අනුව වර්තමානයේ මෙසේ සිදුකරන්නේ රට බෙදා වෙන්කිරීම හා සිංහල බෞද්ධයන්ගේ උරුමය විනාශ කරමින්, මහා නායක මාහිමිපාණන් වහන්සේලා සිවු නමගේම විරෝධතාව නොතකා උපක්රමශීලීව සම්මත කරගැනීමට සැලසුම් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව නැගී සිටීමට පෙර උන්වහන්සේලා නිහඬ කිරීම සඳහා බවද එයින් පෙන්වා දෙති.
එබැවින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ කොට ඇති කාරක මහා සංඝ සභාව මෙම කරුණු කෙරෙහි බලවත් අප්‍රසාදය සහ විරෝධතාවය ඒකමතිකව රජය වෙත ප්‍රකාශ කර සිටින බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරති.