“ලෝකයේ අනිත් රටවල වගේම අපේ රටෙත් ආදිවාසී පරම්පරාවෙන් කෙනෙක් පළාත් සභාවට පාර්ලිමේන්තුවට යන්න අවස්ථාව උදාවෙයි. එහෙම යන්න කැමති කෙනෙකුට මම බාධාකරන්න කැමැත්තක් නෑ. එහෙම යන කෙනෙක් ඉන්නවානම් මගේ ආශිර්වාදය ලබාදෙනවා” යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ආදිවාසි නායක වන්නිලා ඇත්තෝ පවසති.
දඹාන ආදිවාසී ගම්මානයේදී අද ඔහු මේ බව (02) ප්‍රකාශ කළේය.
දිනෙන් දින රටේ පවතින දේශපාලන උණුසුම හා උනන්දුව වැඩිවෙත්ම ආදිවාසී ජනතාවගේද දේශපාලනයට වැඩි නැඹුරුතාවයක් දැන් දැන් ඇතිවී ඇති බවත් බලය ලැබීම තුලින් ඔවුන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටලු සදහා පිළියම් ඒ තුලින් ලබාගත හැකි බව දැන් දැන් අවබෝධ කරගෙන ඇතැයිද, බලය නොමැති කම තුලින් වසර පහෙන් පහට පත්වන ආණ්ඩු තුලින් ආදිවාසීන්ගේ ගැටලුවලට සාර්ථක පිළියම් නොලෑබූ බව නායකතුමන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආදිවාසි නායකතුමා,
අපේ රටේ ඉතිහාසය ගැන කථා කරනකොට දීර්ඝ ඉතිහාසයක් තියෙන පරම්පරාවක් තමයි ආදිවාසී පරම්පරාව. එහෙම දීර්ඝ ඉතිහාසයක් තියෙන පරම්පරාවක්, කාලෙන් කාලෙට, අවුරුදු පහෙන් පහට පත්වෙන ආණ්ඩු හා නායකයන්ගේ අවධානය අඩුවෙන් ලැබෙන පරම්පරාවක් තමයි ආදිවාසී පරම්පරාව.
ලෝකය දියුණුවෙන්න දියුණුවෙන්න, රට දියුණු වෙන්න දියුණුවෙන්න, මිනිස්සුන්ගේ බුද්ධිය දියුණුවෙන්න දියුණුවෙන්න, අපේ වරිගයේ මිනිස්සුන්ටත් උවමනා වෙලා තියෙනවා මේ කාලේ වෙනකොට.
පත් වෙන ආණ්ඩු ආදිවාසීන් පිළිබද වගකීම එක එක අමාත්‍යාංශ වලට පවරනවා. අපි දන්නේ නෑ මොන මොන අංශ, ඒ අමාත්‍යාංශ වල නිලධාරින් ඒ වෙනුවෙන් කටයුතු කරනවාද? කොතරම් මුදල් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වෙන් කෙරෙනවාද කියලා. අමාත්‍යාංශවල අවංක නිලධාරින් ඉන්නවා. ඒ වගේ අවංක නිලධාරින් ඉන්නකන් අපි ගැන තියෙන වගකීම හරි වෙයි.
එහෙම නොවන විට තමයි ගැටලුවක් වෙන්නේ. අපේ රටේ දේශපාලන ක්‍රමය අනුව වසර පහෙන් දහයෙන් ආණ්ඩු හා ඇමතිවරු වෙනස් වෙනවා. එහෙම වෙලාවක අවංකව වැඩ කරන ඇමතිවරු නිලධාරින් ඉන්නකම් අපේ පරම්පරාවට ගැටලුවක් වෙන්නේ නෑ. එහෙම නොවන තැන අපේ පරම්පරාවට වග කියන්නේ කවුද?
ඔය වගේ ගැටලු හින්දා ප්‍රථම පියවරක් ලෙස හේනානිගල ආදිවාසී ගම්මානයේ අපේ පරම්පරාවේ කාන්තාවක් දෙහිඅත්තකන්ඩිය ප්‍රා දේශිය සභාවේ මන්ත්‍රිවරියක් ලෙස පත්වෙලා දේශපාලනිකව කටයුතු සිදු කරගෙන යනවා. දේශපාලනය ගැන කථා කරන්න, දේශපාලනය කරන්න මම කැමති නැති උනත් අපේ අලුත් තරුණ පරම්පරාවට දේශපාලන ගැන උනන්දුවක් කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපේ පරම්පරාවෙන් ඉදිරිකාලේදී දෙවන පියවරක් ලෙස පළාත් සභාවටත් තෙවන පියවරක් ලෙස පාර්ලිමේන්තුවටත් කෙනෙකු යවන්න ඕන කියලා අදහසක් වගේම කථාවක් තියෙනවා. මම තාම ඒකට අහවලා සුදුසුයි කියලා යෝජනා කරලත් නෑ. මම තව කොච්චර කල් ජීවත් වෙයිද කියලා දන්නේ නෑ. මම ඉන්නකම් මොන පළාත් සභාව , මොන ප්‍රාදේශිය සභාව තිබ්බත් මට වැඩක් කර ගන්න උවමනා උනොත් මම ඒක ආණ්ඩුවට කියලා කර ගන්නවා. මගෙන් පස්සේ පත්වෙන නායකයන්ට හා පරම්පරාවේ අයට මොනවගේ තත්ත්වයක් උදාවෙයිද කියලා හිතා ගන්න අමාරුයි යැයි ඔහු වැඩිදුරටත් පැවසීය .
මහියංගණ - රංජිත් කරුණාවීර