මාලදිවයින රජය මඟින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත් ධීවරයින් විසිපස්දෙනාගෙන් ධීවරයින් 21 දෙනෙකු රජය මැදිහත්වීමෙන් නිදහස් කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික ධීවර මහා සම්මේලනය වෙනුවෙන් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පැවැත්වූ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමට එක්වෙමිනි.
ධීවර යාත්‍රා 04 හි නියමුවන් සිවුදෙනා පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු මාලදිවයින් රජය රඳවාගෙන ඇති බවත් ඔවුන් ද නිදහස් කර ගැනීමට සහ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හතර ඉදිරියේ දී නිදහස් කරගැනීම පිළිබඳව මාලදිවයින තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරන බවත්, එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ද මාලදිවයින් රජය දැනුවත් කිරීම සඳහා මේ වනවිට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසිය.
ධීවරයින් නිදහස් කළද ඔවුන් මෙරටට රැගෙන ඒමට විදේශ ගමන් බලපත්‍ර ඔවුන් ළඟ නොමැතිවීම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඔවුන්ට අවශ්‍ය විදේශ බලපත්‍ර හැකි ඉක්මනින් සකසා ඔවුන් ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමට ඉදිරියේ දී කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
ජාත්‍යන්තර මුහුදේ ධීවර රැකියාවේ නිරත වන මාලදිවයින් ධීවරයින්ද අවස්ථා කිහිපයක දී මෙරට දේශසීමාව උල්ලංඝනය කළ අවස්ථා පවතින බවත් ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල දේශසීමා උල්ලංඝනය කිරිම අවම කිරීමට ඉදිරියේදී යාත්‍රා නිරීක්ෂණය කරනු ලබන උපාංග මෙරට ධීවර කටයුතු වල නිරත යාත්‍රා වල සවිකිරීම මඟින් දේශසීමා උල්ලංඝනය හා නීතිවිරෝධී කටයුතු අවම කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
අත්අඩංගුවට පත් මෙම ධීවරයින් නිරුපද්‍රිතව මෙරටට ගෙන්වාගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයා සහ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වනවිට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි