මුලතිව් පුදුකුඩිඉරිප්පු ගනේෂා විද්‍යාලය අසල සාමාන්‍ය වැසියෙකුගේ ඉඩමකින් මෝටාර් සහ පතුරම් උණ්ඩ ගබඩා කරන ලද පෙට්ටි තොගයක් ඊයේ (02) දින හමු වූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
අදාළ ඉඩම් හිමියා ඉදිකිරීමක් වෙනුවෙන් පොළව හාරන අවස්ථාවේදී අදාළ පෙට්ටි මතු වි ඇති අතර පසුව ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව අදාළ ස්ථානයට පුදුකුඩිඉරිප්පු පොලීසිය හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ සිදු කරන ලද කැනීමකදී මෝටාර් උණ්ඩ හා පතුරම් ගබඩා කරන ලද පෙට්ටි 13ක් හමු වී ඇතත් අදාළ පෙට්ටි දැඩි සේ දිරාපත්ව තිබූ අතර පෙට්ටි තුළ මෝටාර් උණ්ඩ හෝ පතුරම් කිසිවක් හමු නොවූ බවටද පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.
යුද සමයේදි කොටි සංවිධානය විසින් අදාළ පෙට්ටි තුළ තිබූ පතුරම් හා මෝටාර් උණ්ඩ භාවිතයට ගෙන පෙට්ටි මෙම ස්ථානයේ වල දමන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.