ශ්රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීතිවිරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්රා කරමින් තිබූ ඩිංගි යාත්රාවක් සහ පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ (20) නාවික හමුදා භාරයට ගෙන ඇත.
මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදේ සැක කටයුතු ඩිංගි යාත්රාවක් යාත්රා කරන බව මුර සංචරයේ යෙදි සිටි නාවික හමුදාව නිරීක්ෂණය කර ඇති අතර, ඒ අනුව නාවික හමුදාව මඟින් අදාළ සැක කටයුතු යාත්රාව පරික්ෂා කිරීමට කටයුතු කර ඇත.
එහිදි නීතිවිරෝධී ලෙස මුහුදු මඟින් ඉන්දියාවේ සිට මෙරටට සංක්රමණය වීමට උත්සාහ කළ ශ්රී ලාංකික ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී මෙම මිනිස් ජාවරම් මෙහෙයවනු ලැබූ ජාවාරම්කරුවන් දෙදෙනෙක්ද නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 30ක් සහ 34ක් වන පේසාලේ සහ ඌරුමලෙයි ප්රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
නීතිවිරෝධී ලෙස සංක්රමණය විමට උත්සාහ කිරීමේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අවුරුදු 28, 37 සහ 49 වන වියෙහි පසුවන යාපනය සහ මන්නාරම ප්රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පස්දෙනා සහ යාත්රාව ශ්රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, මෙම සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු පුදුකුඩුඉරුප්පු, පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද හිටපු පොලිස් නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු පසුගිය කාලයේ ඉන්දියාව වෙත නීති විරෝධී ලෙස සංක්රමණයවි ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.