මිත්‍යාවට එරෙහි අරගලය දේශපාලන අරගලයේම කොටසක් ලෙස සලකා මිත්‍යාව තුරන් කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දිසානායක මහතා අද (10දා) මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මහාචාර්ය කාලෝ ෆොන්සේකා අනුස්මරණ උත්සවය අමතමිනි.
"මහචාර්ය කාලෝ යනු වාමංශිකයෙක්, මානවවාදියෙක්. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස අපි හඳුනන කෙනෙක්. දිනක් කාලෝගෙන් මාධ්‍යවේදියෙක් ඔහු කවුද කියා ඇසු ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ, මම මානවවාදය ප්‍රගුණ කළ, ජනතාවට සේවය කරන මිනිසෙකු යන්නයි.
60 - 70 දශකයේ මිත්‍යාවට එරෙහිව කාලෝ විසින් විශාල අරගලයක් ගෙනයනු ලැබුවා. ඒ කාලේ ලංකාවේ මිත්‍යාව නියෝජනය කලේ කට්ටඩියෝ, කපුවෝ වගේ අය. ඔවුන් දේශපාලන ප්‍රශ්නවලට දේශපාලන ධාරවන්ගේ වුවමනාවන්ට අතපෙව්වේ නැහැ. ජනාධිපතිවරණ පවත්වනවද නැද්ද? අරය හෝ මෙයා දිනනවාද නැද්ද යන ප්‍රශ්න ගැන ඔවුන් අනාවැකි කිව්වේ නැහැ. ඔවුන්ගේ ශාස්ත්‍රය සාමාන්‍ය ජන ජීවිතය සමග බද්ධ වුණු සංස්කෘතියක් හැටියටයි එදා තිබුණේ. එදා ගැමියාගේ ආර්ථික ජීවිතය අද තරම් සංකීර්ණ වෙලා තිබුනෙ නැහැ.
අනෙක් පැත්තෙන් දැන් මේක දේශපාලන බල කවයටද ඇතුල් වෙලා. ශිෂ්‍යත්ව විභාගය ලියන දරුවන්ට දේශපාලඥයින් විසින් මතුරපු පෑන් ලබාදීම ඊට එක උදාහරණයක්. ඡන්ද දිනීම සදහා තිරුපති ගොස් ඇගේ බරට රත්තරං දීම තව උදාහරණයක්. මෙය දේශපාලන කවයට කොතරම් කා වැදිලද කියනවම් ඡන්ද දිනට පෙර දින බොහෝ රූපවාහිනී නාලිකාවල මේ මිත්‍යාව වපුරන්නන් විසින් අරක්ගෙන සිටින බව ඔබට පේනවා ඇති.
අද ප්රශ්නය තිබෙන්නේ එදා තලයේ නොවෙයි. අද මිත්‍යාව සඳහා විද්‍යාව හා තාක්ෂණයද උපයෝගී කරගනිමින් තිබෙනවා. රූපවාහිනී නාලිකාවල උදේට පත්තරේ විස්තරේ කියවනවා. ඉන් පස්සේ ලග්න පලාපල කියවනවා. ඇඳෙන් බහින්න කලින්ම එස්.එම්.එස් හරහා පලාපල අතට එනවා.
අද කාලෝගේ යුගයට වඩා මිත්‍යාවට එරෙහි අරගලය ඉතා සංකීර්ණයි. මේ සංවාදය අපි කරන්නේ මේවා සමඟ හැඩ ගැසුණු මිනිස්සු සමගයි. එනිසා අප අරගල කළ යුත්තේ ඔවුන් මිත්‍යාවෙන් මුදා ගැනීමටයි. ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමට නෙමෙයි. එසේ වුණොත් ඔවුන් මිත්‍යාවට තව තවත් තල්ලූවී යනවා නිසැකයි." යැයි ද පැවසීය.
නවෝද්‍යා පවනි