බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට තරා තිරම නොබලා නීතිය අනුව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැවැසීය.
සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
"බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විමර්ශන ආරම්භ කළා. පසුව ඒ පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කළා.
නීතියේ විධි විධාන ප්‍රකාරව මේ සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කර ගත්තා. එම සාක්ෂි මෙන්ම පර්වේෂනීය සාක්ෂි, පුද්ගල සාක්ෂි මගින්ද අණාවරණය වූ තොරතුරු අනුව තවදුරටත් මේ පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතිනවා.
මේ වන විට ප්‍රකාශ 14ක් සටහන් කරගෙන තිබෙනවා. සියලු සාක්ෂි සකස්කරමින් විශ්ලේෂණය කරමින් තවදුරටත් විමර්ශන සිදුකරනවා. මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් අවසන් වෙලා නෑ. පුද්ගල සාක්ෂි, පර්වේෂණීය සාක්ෂි, පුද්ගල සාක්ෂි ඔස්සේ, ඒ පිළිබඳ විශේෂයින්ගේ උපදෙස් ලබාගෙන තවදුරටත් අඛණ්ඩ විමර්ෂන සිදුකරනවා.
මෙම විමර්ශන තවමත් මූලික අදියරේ පවතිනවා. ඉහත පරිදි සියලු සාක්ෂි උපයෝගී කර ගනිමින් මෙම අත්බෝම්බය දේවස්ථානය වෙත රැගෙන ආ පුද්ගලයා හෝ පුද්ගලයන් කවුද? කුමන ප්‍ර දේශයක සිට කුමන අරමුණක් වෙනුවෙන් රැගෙන විත් තිබේද? මේ සම්බන්ධයෙන් යම් පිරිසක් කුමන්ත්‍රණය කර තිබේද? ආදාර අනුබල දුන් තැනැත්තන් කවුද පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරනවා.
ඒ වගේම කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී මේ ආකාරයටම බෝම්බයක් හමුවුණා. මාස තුනකට ආසන්න කාලයක් පුළුල් විමර්ශනයකින් අනතුරුව එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කළා.
දේවස්ථානයෙන් බෝම්බය හමුවීම පිළිබඳව පූර්ණ ලෙස විමර්ශනයක් කළ එයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මා විසින් උපදෙස් ලබා දී තිබෙනවා"