බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ තිබී අද උදෑසන අත්බෝම්බයක් සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි .
විහාරස්ථානයේ සේවකයින් කිහිපදෙනෙකු අද උදෑසන, 9 පමණ, විහාරස්ථාන භූමිය පිරිසිදු කරමින් සිටියදී , සැකකටයුතු පාර්සලයක් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී , පොලිතින් බෑගයක ඔතා තිබී අත්බෝම්බයක් සොයාගත් බව පොලීසිය කියයි.
මෙම අත්බෝම්බය ඔතා තිබූ පාර්සලය පරීක්ෂා කිරීමේදී එය මීට දින කිහිපයකට පෙර මෙම ස්ථානයට කිසියම් අයකු ගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරින් කණ්ඩායමක් පැමිණ වේරහැර ප්රදේශයේ පාලු ඉඩමකට අත් බෝම්බය ගෙනගොස් විනාශ කර දැමීමට පියවර ගත් බව පැවසේ.
මෙම අත්බෝම්බය විහාරස්ථාන භූමියට ගෙන ඒම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ,අත්බෝම්බය පළමුව දුටු විහාරස්ථාන සේවකයන්ගෙන් ප්රකාශ සටහන් කොට ගෙන , ඉදිරි විමර්ශන කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ජී විමලරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුශංක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න