නීතිපතිවරයා විසින් තමාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට නොගෙන වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාගයට ගැනීමට නියම කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සම ලබන 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (03දා) නියම කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බව චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.
සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් වූ රාජ්‍ය සේවකයන්ට සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා හමුවේ තමන්ගේ නඩුව විභාග කරනු ලැබුවහොත් තමන්ට සාධාරණය හා යුක්තිය ඉටු වීමේ ප්‍රවණතාව අඩු බව පෙන්වා දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් එදින අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාටද නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවන ලදී.හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කොට ඇත.